‘මිල්ටන්’ සුළි කුණ­ාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තය වටලයි-දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත්වීමට උපදෙස්

‘මිල්ටන්’ සුළි කුණාටුව බටහිර වෙරළ තීරයෙන් හමා එන බව සඳහන් කරමින් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත් වන ලෙස ප්‍රාන්ත රජය උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පස්වැනි මට්ටමේ අනතුරුදායක සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණය කර ඇති මිල්ටන් සුළි කුණාටුව ඊයේ රාත්‍රී ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදීමට නියමිතව තිබූ අතර, නිවාසවලින් දහස් සංඛ්‍යාත ජනතාවගේ ඉවත්වීම මෑත කාලයේ අමෙරිකාවේ විශාලතම නිවාස හැර යෑමේ සිදුවීම බව ද වාර්තා වේ.

මිල්ටන් සුළි කුණාටුව දරුණු විනාශයක් සිදු කිරීමේ දැඩි අවදානමක් ඇතැයි පළවන අනාවැකි හේතුවෙන් එය ජීවිතයත් මරණයත් අතර කරුණක් බැවින් වහාම බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

මීට සති දෙකකට පෙර හෙලන් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 225 දෙනකුට ජීවිත අහිමිවූ අතර, එහි බලපෑමට ලක්වූ ෆ්ලොරිඩා, ජෝර්ජියා සහ දකුණු කැරොලිනා ඇතුළු ප්‍රාන්ත රැසක ජනතාව නැවත සුළි කුණාටුවකට මුහුණදීමට සිදුවීමෙන් දැඩි ලෙස බියට පත්වී සිටින බැවින් නිවාස හැර යන පිරිස ඉහළ යෑමට හේතුව බවත් වාර්තා වේ.