මෛත්‍රීට අතුරු තහනමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව මඟින් එම පක්ෂය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපති, ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන්ට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (09) නියෝග කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් නොකිරීම හා විත්තිකරුවන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා අධිකරණය මඟින් නඩුව ඒකපාර්ශ්විකව විභාග කිරීමට ද නියම කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුන් විසින් දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති අතර මෛත්‍රීපාල සිරිසේන, සාරථි දුෂ්මන්ත, ෆයිසර් මුස්තාපා, සරත් ඒකනායක, කේ.පී ගුණවර්ධන හා හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුන් විත්තිකරුවන් කරමින් පසුගිය අප්‍රේල් මාසයේ පැවරූ නඩු තුනක් අධිකරණය මඟින් සලකා බැලීමෙන් අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

2024 මාර්තු 30 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව රැස් වී ගත් තීරණ අනුව පැමිණිලිකරුවන් විසින් දරන තනතුරු විත්තිකරුවන් වන කේ.පී ගුණවර්ධන හා හෙක්ටර් බෙත්මගේ යන අයට ලබාදීමට ගත් තීරණය නීති විරෝධී හා අත්තනෝමතික බව පවසා මෙම නඩු තුන පවරා ඇත.

පෙරේදා (08) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රාර්ථනා දයානන්ද හා සචනා පෙරේරා මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට විත්තිකරුවන්ගෙන් උපදෙස් ලැබී නැති බව නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය පසුගිය අප්‍රේල් මාසයේදී ලබාදුන් වාරණ නියෝගය සම්බන්ධයෙන් විත්තිකරුවන් විසින් විරෝධතා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් අතුරු තහනම් නියෝගය නිකුත් කරමින් නඩුව ඒකපාර්ශ්විකව විභාගයට ගැනීමට නියෝග කළේය.