නව තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගි කරගනිමින් ජාතික ආර්ථිකයට හා සංවර්ධනයට ගැළපෙන අයුරින් තැපැල් සේවය සකස් කළ යුතු බව
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
150 වැනි ලෝක තැපැල් දින සැමරුම් උත්සවය අරලියගහ මන්දිරයේ දී ඊයේ (09) පැවැත්වුණ අතර එම අවස්ථාවට එක්වෙමින් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මේ බව සඳහන් කළාය.
එය ඉතිහාසය හා සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් සිදුකළ යුතු බව ද අගමැතිනිය කීවාය.
තැපැල් සේවය හා තැපැල් මහත්මයා ජන ජීවිතය හා බැඳී ඇති අතර එම මිහිරි මතකයන් කුඩා කාලය දක්වා දිව යන බව අගමැතිනිය කියා සිටියාය.
අගමැතිනිය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.
“තැපැල් සේවාව ගැන කතා කරනකොට මට මතක් වෙන්නේ මගේ ළමා කාලය. මම පොඩි කාලේ හිටපු ගමේ තැපැල් මහත්තයගේ නම මම හිතුවේ තැපැල් මහත්තයා කියලා. හැමෝම ඒ නමින් ආමන්ත්‍රණය කරන හින්දා මම හිතුවේ ඔහුගේ නම තැපැල් මහත්තයා කියලා. එතරම් අපේ ජීවිතයට වැදගත් සහ කිට්ටු සම්බන්ධයක් තැපෑලත් එක්ක තිබුණා. අපේ තරුණ කාලේ ටෙලිෆෝන් තිබුණේ නැහැ. නිවාඩු කාලයේ යාළුවන් එක්ක සම්බන්ධතා පවත්වා ගත්තේ ලිපි මගින්. එම නිසා තැපැල් මහත්තයා බෙල් එක ගහනකොට අපි දුවනවා අපිටත් ලියුමක් තිබෙනව ද බලන්න. එහෙම ගනිද්දි තැපෑල පිළිබඳ අපිට ළමා කාලයත් එක්ක ඉතාම මිහිරි මතකයන් තිබෙනවා. නමුත් අපි අද දන්නවා සන්නිවේදනය කියනඑක හරි වෙනස්. සන්නිවේදනය සහ සම්බන්ධතා පවත්වා ගන්නා ක්‍රමවේද වෙනස්. එම නිසා අපිට කලින් තිබුණ සන්නිවේදනය වෙනස් වෙලා. එහෙත් ඒ විදියටම සන්නිවේදනය කළේ නැතත් තැපෑලට අලුත් අර්ථයක් එක්ක අලුත් තාක්ෂණයක් එක්ක ලෝකය තුළ ඇති වෙලා තිබෙන වෙනස්කම් එක්ක අනුගතවෙමින් විශාල සේවයක් කළ යුතු බව අප විශ්වාස කරනවා.
තැපෑල කියන එකට ඵෙතිහාසික සහ සංස්කෘතික තැනකුත් තිබෙනවා. විශේෂයෙන්ම මුද්දර දිහා බලද්දි. අපි පොඩි කාලයේ දී මුද්දර එකතු කළා. මම දන්නේ නැහැ දැන් කාලයේ ළමයි මුද්දර එකතු කරනව ද නැද්ද කියලා. නමුත් එය අදටත් වටිනාකමක් තිබෙන දෙයක්. මම හිතන විදියට ලෝකයේ රටවල්වල මුද්දර ගත්තම ලස්සනම මුද්දර තිබෙන්නේ ලංකාවේ. මම අදත් ඇහුවා තැපැල්පතිවරයාගෙන් කොහොමද ඒ ඩිසයින් එක හදන්නේ කියලා. විශේෂයෙන්ම අපේ ස්වාභාවික සම්පත් ආශ්රයෙන් ඇති වෙලා තිබෙන මුද්දර ඉතාමත් ලස්සනයි. අපිට ඉතාම වටිනාකමක් තැපැල් සේවයටත් ඒ තැපැල් සේවය සමඟ බැඳිලා තිබෙන සංස්කෘතියටත් ගෙන දෙන්න පුළුවන්. තැපැල් සේවාව කියන එක ලෝකයට සහ අපේ අවශ්‍යතාවන්ට ගැළපෙන විදියට, වෙනස් වෙමින් පවතින ඒ තාක්ෂණයත් එක්ක සහ ජාතික ආර්ථිකයට, සංවර්ධනයට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහ බැරූරුම් ලෙස සාකච්ඡා කරමින් කටයුතු කළ යුතුයි. ඒ සඳහා ගතයුතු පියවර ගත යුතුය කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාම තමයි අපට අවශ්‍ය වෙන්නේ සංස්කෘතික හා ඵෙතිහාසික වැදගත්කමත් රැකගනිමින් ඉදිරියට යන්න. පොදු තැපෑලක් අපේ විවිධ හේතූන් මත අහිමි වෙලා තිබෙනවා. ඒ පිළිබඳත් අපේ රජය විසින් අධ්‍යයනයක් කරලා වටිනා ගොඩනැඟිල්ල අපේ පොදු තැපෑල සඳහා පාවිච්චි කරන්නේ කියන එක ගැනත් ඉදිරියේ දි කල්පනා කරලා ඒ වෙනුවෙනුත් මැදිහත්වීමක් කළ යුතුයි කියන විශ්වාසය අපිට තිබෙනවා.
තැපැල් සේවය නැවත වතාවක් අපේ ජීවිතවලට කිට්ටු වන විදියට කිට්ටු සම්බන්ධතාවක් ඇති කරන්න අවශ්‍ය පරිවර්තනය සිදුකළ යුතුයි. අපි සියලුදෙනා එකතු වෙලා ඒ සඳහා අවශ්‍ය කතිකාව ඇතිකර ගෙන තාක්ෂණයත්, අලුත් අවශ්‍යතාවන්වලට හැඩ ගැසෙන්නේ කෙසේද කියන එක ගැනත් සිතමින් ජාතික සංවර්ධනයට, ජාතික ආර්ථිකයට තැපැල් සේවය සම්බන්ධ කරමින් ඉදිරියට යමු කියන යෝජනාව කරනවා.”
මේ අවස්ථාවට ඇමැති විජිත හේරත්, අගමැති ලේකම්, ප්‍රදීප් හපුතන්ත්‍රී, අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න, තැපැල්පති රුවන් සත්කුමාර මහත්වරු එක්ව සිටියහ.








