කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳීමට රජයේ විශේෂ අවධානය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ආංශික උපදේශන සභා මගින් ආවරණය කරනු ලබන කර්මාන්ත ක්ෂේත්‍රවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව හා මේ වනවිට එම අංශ මුහුණදී තිබෙන ප්‍රධාන ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අමාත්‍යාංශ ලේකම් එම්.එම්. නයීමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ ශ්‍රවණාගාරයේදී එය පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරී තරිඳු වනිගසූරිය හා චතුරංග අබේසිංහ සහභාගී වූහ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අංශය විසින් තේ, කුලුබඩු, මැණික් හා ස්වර්ණාභරණ, රබර් හා ප්ලාස්ටික්, සකස් කළ ආහාර, ඇසුරුම්කරණය, බෝට්ටු නිෂ්පාදනය ඇතුළු ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක් හඳුනාගෙන එම කර්මාන්ත ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේ අරමුණින් ආංශික උපදේශන සභා 20ක් පිහිටුවා තිබේ.

මෙම එක් එක් ආංශික උපදේශන සභාවක් සඳහා සභාපති ඇතුළුව කමිටු සාමාජිකයින් 20 දෙනෙක් බැගින් පත්කර ඇති අතර රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි මෙම කමිටු සමාජිකයින් පත් කර ඇත. මෙම ආංශික උපදේශණ සභා මඟින් අදාල කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සඳහා අවශ්‍ය සහය ලබාදීම සිදුකරනු ලබයි.

මෙම එක් ආංශික උපදේශන සභා නියෝජනය කරමින් ඒවායේ සභාපතිවරුන් හා නියෝජිතයින් විසින් මේ වනවිට එම කර්මාන්ත ක්ෂේත්‍රයන් මුහුණ දී ඇති පොදු ගැටලු පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කරන ලදී. අමුද්‍රව්‍ය හිඟය, විදුලි හා ජලය සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම, තීරු බදු හා විනිමය අනුපාත හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, ප්‍රවාහන පිරිවැය අධික වීම, පුහුණු සේවක ගැටලුව, නවෝත්පාදන නොමැතිවීම, දේශීය පර්යේෂකයන් හා කර්මාන්ත අතර පවතින දුර්වල සහයෝගීතාව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පර්යේෂණ පහසුකම් නොමැතිවීම, විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර වලට අදාල විශේෂ යටිතල පහසුකම් නොමැතිවීම, නීති විරෝධී ලෙස නිෂ්පාදන භාණ්ඩ රට තුළට ආනයනය කිරීම, කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් ලබා ගැනීමේ ගැටලුව, ව්‍යාපාර ආරම්භ කිරීමේදී මතුවන නීතිමය බාධක වැනි ගැටළු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරී තරිඳු වනිගසූරිය හා චතුරංග අබේසිංහ, ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක නොවීම කර්මාන්ත ක්ෂේත්‍රයේ බොහෝ ගැටලු වලට හේතු වන බවත් එබැවින් ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම නව රජයේ මූලික අරමුණ බවත් පැවසීය. තවද ජාතික සැලැස්මකට අනුව කටයුතු කරමින් කර්මාන්ත ක්ෂේත්‍රය ඉලක්කගත අරමුණක් වෙත ගමන් ගමන් කිරීම වැදගත්කමද ඔවුන් මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම සාකච්ඡාවට, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අධ්‍යක්ෂ නලිනි බාලසුබ්‍රමනියම්, ආංශික උපදේශන සභා වල සභාපතිවරු හා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.