මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ, ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත්වන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ නාමයෝජනා අත්සන් කිරීමේ අවස්ථාවට ඊයේ(09) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී සහභාගි වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ, ජාතික ජන බලවේගය මෙවර මහමැතිවරණය සඳහා ඉදිරිපත් කරන කණ්ඩායම පිළිබඳව වග කියන බවයි. තමා ඡන්දය ඉල්ලන්නේ නැති බවත් ඉදිරියේ බිහිවන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ තානාන්තර භාර නොගන්නා බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා –
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නාමයෝජනාවලට අද අත්සන් කරනවා. මේ අවස්ථාව වන විට අප සමබර, ප්‍රබල අපේක්ෂක ලැයිස්තුවක් සකසා තිබෙනවා. කාන්තා, දෙමළ, මුස්ලිම් නියෝජනය එහි තිබෙනවා. මොවුන් සෑම දෙනාටම දැනුම, හැකියාව, උගත්කම පවතිනවා. දූෂිත කිසිවෙකු අප මේ සඳහා සම්බන්ධ කරගෙන නැහැ. දූෂිතයන්ගෙන් තොරව, එහෙට මෙහෙට පනින, දේශපාලන සංස්කෘතිය විනාශ කරපු අය නැතිව,රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැප වෙන්න පුළුවන් කණ්ඩායමක් තමයි ඉදිරිපත්කර තිබෙන්නෙ. 10, 11 අප නාමයෝජනා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට ලබා දෙනවා.
අප මහමැතිවරණයට යන්නෙ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරල. මේ රටේ ජනතාව ජනාධිපතිවරණයේදී අප කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන්නා. අප ජනතාවට දුන් ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා. අප එය ක්‍රියාවට නගනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් අවශ්‍යයි. අප මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නෙ පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් ලබා ගන්න. අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ මෙවර මැතිවරණයේදී ශක්තිමත් බහුතර බලයක් අපට ලබාදෙන ලෙස. අප ඒ පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා.
මේ වනවිට අනෙකුත් පක්ෂවල සිටි ප්‍රධාන ඇමැතිකම් දරපු බොහෝ පිරිසක්, තිහකට වැඩි පිරිසක් ඡන්දය ඉල්ලන්නෙ නැති මට්ටමට වැටී තිබෙනවා. මෙම අවස්ථාව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොහොට්ටුව ආදී සෑම එකක්ම බිඳ වැටී තිබෙන මොහොතක්. අප රට අලුත් කරන්න පියවරක් තබා තිබෙනවා. ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියට ගෙන යන්න ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඕනෙ. එය අපට ලබා දෙන්න.
අප ඉදිරිපත් කරන කණ්ඩායමට අප වග කියනවා. අනෙක් අය වගේ පොල් ලෙලි, පොල් කෝම්බ දාන්නෙ නැහැ. අපේ කණ්ඩායමේ රට දන්න අය වගේම, මීට කලින් පාර්ලිමේන්තුවේ සිටිය අයත් ඉන්නවා. පරණ හොරු රැළට වෙනස්ව අලුත් කණ්ඩායමක් තමයි අප ඉදිරිපත් කරන්නෙ. මෙම මැතිවරණය දිනවන්න මම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලෙස පක්ෂය සමඟ කටයුතු කරනවා. මම ඡන්දය ඉල්ලන්නෙ නැහැ. අනුර සහෝදරයා මෙම මැතිවරණ ජයග්‍රහණය සඳහා දායකත්වය ලබා දෙනවා. අපට තියෙන්නෙ තාවකාලික ආණ්ඩුවක්. සති දෙකක් තුළදී අප, අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. නාස්තිකාර වියදම් නවතා තිබෙනවා. අනුර සහෝදරයා ජනාධිපතිකම හිස මුදුනේ තියාගෙන ඉන්න කෙනෙක් නොවේ. මම ඉදිරි ආණ්ඩුවේ තානාන්තර භාර ගන්නෙ නැහැ.
ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා-
මේ වන විට වාමාංශික, ප්‍රගතිශීලී බලවේග නියෝජනය කරන ජනාධිපතිවරයෙක් මෙරට ජනාධිපතිවරයා බවට පත් වී සිටිනවා. දිස්ත්‍රික් 22ටම ශක්තිමත් කණ්ඩායම් ඉදිරිපත් කරනවා. අද දිනයේ අප සියලුම දිස්ත්‍රික්කවල නාමයෝජනා පත්‍ර අත්සන් කරනවා. අප මෙවර බහුතර බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා. පොහොසත් රටක්- ලස්සන ජීවිතයක් අප ජනතාවට ලබා දෙනවා.
මෙම අවස්ථාවට සහභාගි වෙමින් ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ, ජනතාව මේ මොහොතේ ජාතික ජන බලවේගයට විශාල බලයක් ලබාදීමට සූදානමින් සිටින බවයි. ඇතැම් දේශපාලන ව්‍යාපාර තමන්ට අපේක්ෂකයෙක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බවද ඔහු පැවසීය. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සිටි බොහෝ පිරිස් මෙවර මහමැතිවරණයෙන් සේදී යන බවද සමන්ත විද්‍යාරත්න මහතා කීය.