මේ වැඩේ හරිම අසාධාරණයි – වෙළෙඳුන්ගෙන් මැසිවිලි
ගෙදර ඇඳවල් දෙක ගෙනැත් එකතු කරලයි එළවළු දාන්නේ…
ඇයි අපට මෙහෙම කරන්නේ?
අනුරාධපුර සංචාරක සශිනි මධුෂානි,අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි පසු අස්වනු තාක්ෂණ ආයතනය ආසන්නයේ මාර්ගය අසල වෙළෙඳාමේ නිරත වෙළෙඳුන් ඉවත් කිරීමට අනුරාධපුර මහා නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ ඊයේ (9) එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් පැනනැඟිණි.
එහිදී එක් වෙළෙන්දකු හා කාන්තාවක භූමිතෙල්ද රැගෙන අසල පිහිටි විශාල ප්‍රමාණයේ වෙළෙඳ දැන්වීම් පුවරුවක් මතට නැඟ ශරීරයට ගිනි තබාගන්නා බව පවසමින් විරෝධතාවක නිරත වූ අතර, එහිදී පොලිස් නිලධාරීන් සහ සෙසු වෙළෙඳුන් ඒ දෙදෙනා පුවරුවෙන් බස්සවාගැනීමට සමත් වුවත් විරෝධතාවට එක් වූ පිරිස එක හඬින් පවසා සිටියේ තමන් නගර සභාවට දෛනිකව රුපියල් දෙසීයක මුදලක් ගෙවමින් වෙළෙඳාම් කටයුතුවල නිරතව සිටියදී තාවකාලික වෙළෙඳසල් මෙලෙස කඩා ඉවත් කිරීම අනුමත කළ නොහැකි බවයි.
එහිදී අදහස් දැක්වූ මේ ස්ථානයේ කෙසෙල් වෙළෙඳාමේ නිරතව සිටි සීතා නන්දාවතී මහත්මිය තමා ගැහැනු දරුවන් තිදෙනකු සහ රෝගි තත්ත්වයෙන් පසු වන සැමියා ජීවත් කරවන්නේ කාලයක සිට අනුරාධපුර නගර සභාවට දෛනිකව කුලී ගෙවමින් පවත්වාගෙන යන මේ වෙළෙඳසලෙන් උපයාගන්නා සොච්චම් මුදලින් බව කියා සිටියාය. හිටිහැටියේ නිලධාරීන් පැමිණ, පොල් අතුවලින් සදා තිබූ කෙසෙල් කඩය විනාඩි දෙකක් යෑමට මත්තෙන් බිමට සමතලා කළ බවත්, ඒ හේතුවෙන් තමාට දරුවන් සමඟ පාරේ හිඟා කෑමට සිදු වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙහිදී අදහස් දැක්වූ එළවළු වෙළෙඳාමේ නිරත කේ. චමිල මහතා තමා මේ එළවළු තොග රැගෙන එන්නේ ණයට බවත්, හෙට වෙළෙඳාම් කරන්නට එළවළු ගත හැකි වන්නේ අද වෙළෙඳාමක් කිරීමට හැකි වුවොත් පමණක් බවත් කියා සිටියේය. තමන් සුළු ලාභයක් තබාගෙන ඉතා සාධාරණ මුදලකට එළවළු විකුණන්නේ පාරිභෝගිකයාට උපරිම සාධාරණයක් වන පරිදි බවත්, අනුරාධපුරයේ පමණක් නොව, ලංකාවේ කොහේවත් බෝංචි කිලෝව රුපියල් 100ට මිලට ගන්න නැති බවත් පැවසූ හෙතෙම නගර සභාවෙන් එක් වරම පැමිණ ඉවත් වන්නේ නැති නම් කඩේ කඩලා දානවා කියා පැවසුවත් ජීවනෝපාය අත්හැර එසේ යන්නේ කොහොමදැයි ප්‍රශ්න කළේය. තමා අතිශය දුක්ඛිත ජීවිතයක් ගත කර කරන බවද එළවළු බිම තබාගෙන අලෙවි කළොත් මහජන සෞඛ්‍ය පරීක්ෂක පැමිණ නඩු පවරන අතර, ස්ථිර මැස්සක් ගැසුවොත් අනවසර ඉදි කිරීම් බව පවසා ඉවත් කරන බවද කියා සිටියේය.
“කියන්න ලැජ්ජාවක් නෑ මහත්තයෝ, ගෙදර නිඳාගන්න ඇඳවල් දෙක ගෙනල්ලා එකතු කරලා තමයි මේ එළවළු දාලා වෙළෙඳාම් කරන්නේ… ඇයි අපට මෙහෙම දෙයක් කරන්නේ? ජනාධිපතිතුමනි, ඔබතුමා අනුරාධපුර… ගොවියන්ගේ දුක හොඳට දන්නවා… අනේ මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා අපට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.” ඔහු මහත් සංවේගයෙන් පැවසීය.
මේ ස්ථානයේ ගැටුමක් ඇති වුව හොත් පාලනය කිරීම සඳහා මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද එහි පැමිණ සිටිනු දක්නට ලැබුණු අතර, පැය විසි හතරක කාලයක් ඇතුළත මේ වෙළෙඳසල් ඉවත් කර කරගෙන භූමිය ශුද්ධ පවිත්‍ර නොකළ හොත් නීති මඟින් ක්‍රියා කරන බව පවසා අනුරාධපුර මහා නගර සභාවේ නිලධාරීහු පිටව ගියහ.