ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක් – මගීන් 176ක් ඉවත් කරයි

දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පියාසර කිරීමට තිබූ ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ, අදාළ ගුවන් යානය එරට වේලාවෙන් අද (28) අලුයම 05ට පමණ පිටත්ව යාමට නියමිතව තිබූ අතර ඇතිවූ බෝම්බ බිය හේතුවෙන් ගුවන් යානය ගුවන් ගතවීමට මිනිත්තු කිහිපයකට පෙර ධාවන පථයේ නතර කර, මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇති බවය.

මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත්තේ, දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට වරනාසි බලා පිටත්ව යාමට තිබූ ගුවන් යානයක් බව සඳහන්ය.

මගීන් 176 දෙනෙකු සමඟ අදාළ ගුවන් යානය වැඩිදුර අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා වහාම හුදකලා කරමින් පරික්ෂාවකට ලක් කර ඇත.

කෙසේ නමුත් සැකකටයුතු කිසිදු දෙයක් සොයාගැනීමට ආරක්ෂක නිලධාරීන්ට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බව බලධාරීන් සදහන් කරයි.

සියලුම මගීන් හදිසි දොරෙන් බැස ඇති අතර ඔවුන් ආරක්ෂිත බව ද සදහන් වේ.

මේ මස මුලදී ද දිල්ලි ගුවන්තොටුපොළේ ගුවන් යානයක වැසිකිළියක් තුළ බෝම්බයක් ඇති බවට ව්‍යාජ තොරතුරක් සංසරණය වුණි.