නීතිවිරෝධීව සතුන් ගෙනයෑමට උත්සාහ කළ ඉන්දියානුවෝ තායි ගුවන්තොටේදී කොටු වෙති

ගමන් මලු අටක සත්තු වර්ග 13ක්
– රතු පැන්ඩාවකුත් ඒ අතර

තායිලන්තයේ සිට ඉන්දියාවට නීතිවිරෝධීව රැගෙන යෑමට උත්සාහ කළ වර්ග 13කට අයත් සතුන් 87ක් සහ ඉන්දීය ජාතිකයන් 6 දෙනකු ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සතුන් අතර දුර්ලභ වර්ගයේ රතු පැන්ඩාවකු, ටැමරින් වර්ගයට අයත් වඳුරකු, දුර්ලභ වර්ගයකට අයත් වලස් පැටවකු, විවිධ කටුසු වර්ග, රතු ඇස් සහිත ලේනුන්, මීයන්, විශාල හොටක් සහිත ගිරවුන් ඇතුළු කුරුල්ලන් සහ සර්ප වර්ග සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සැකකරුවන්ගේ ගමන් මලු තුළ සඟවා තිබු භාජනවල එම සතුන් අසුරා තිබූ බවත්, ඉන්දියාවේ මුම්බායි නගරය වෙත රැගෙන යෑමට නියමිතව තිබූ බවත් රේගු නිලධාරින් අනාවරණය කරගත් බව ද වාර්තා වේ.

වේවැලින් තනන ලද විශාල කූඩයක රතු පැන්ඩා සිටි බවත්, ප්ලාස්ටික් බඳුනක ටැමරින් වඳුරා සිර කර තිබූ බවත් රේගු නිලධාරින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. සැකකරුවන්ගේ ඇඳුම් බෑග් තුළ අසුරා තිබූ ප්ලාස්ටික් ආහාර බඳුන්වල සර්පයන් 21ක් සොයා ගෙන ඇති අතර, විවිධ වර්ගවලට අයත් කුරුල්ලන් 15 ක්ද ඒ අතර සිටි බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නඩු පැවැරීමට නියමිත අතර, වරදකරුවන් බවට පත්වුවහොත් අවම වශයෙන් වසර 10ක සිර දඩුවම් නියමවනු ඇතැයි ද වාර්තා වේ.