අමිර්ගේ ‘දංගල්’ චිත්‍රපටියේ නිළියක් මිය යයි – මරණයට හේතුව දුර්ලභ රෝගයක්

බොලිවුඩ් නළු අමීර් ඛාන් විසින් රංගනයෙන් එක් වූ අතිශය ජනප්‍රියතාවට පත් වූ දංගල් චිත්‍රපටියේ නිළියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, සුහානි භාට්නගර් නමැති නිළියයි.

ඇය මිය යන විට 19 හැවිරිදි වියෙහි පසු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

සුහානි, දංගල් චිත්‍රපටියේ භවිතා පොංගට්ගේ ළමා වියෙහි චරිතය නිරූපණය කරනු ලැබීය. ඇය නවදිල්ලියේ ෆරිඩාබ්ඩා ප්‍රදේශයේ ජීවත් විය.

සුහානි සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි අවසන් වරට සටහනක් තබා තිබූවේ 2021 වසරේ නොවැම්බර් මාසයේ දීයි. එහි දී “November??” යනුවෙන් සටහනක් තබා තිබුණි.

සුහානිගේ පියා මාධ්‍ය වෙත පැවසුවේ මීට මාස දෙකකට පෙර රංගන ශිල්පිනියගේ දෑත් ඉදිමීමට පටන් ගත් බවයි. මුලදී සාමාන්‍ය දෙයක් ලෙස සලකනු ලැබුවද, පසුව ඉදිමීම ඇගේ අනෙක් අතටත් පසුව ඇගේ මුළු ශරීරයටත් පැතිර ගිය බව සදහන් වේ.

වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් උපදෙස් ලබා ගත්තද ඇයගේ රෝගය හඳුනා ගැනීමට නොහැකිව ඇත. දින 11 කට පමණ පෙර සුහානි AIIMSරෝහල වෙත ඇතුළත් කරන ලද අතර එහිදී සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වූයේ ඇයට දුර්ලභ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් වන dermatomyositis වැළඳී ඇති බවයි. මෙම රෝගය සඳහා එකම ප්‍රතිකාරය ස්ටෙරොයිඩ් ය. ස්ටෙරොයිඩ් ලබා ගැනීමෙන් පසු ඇගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති වූ අතර ඇගේ ප්‍රතිශක්තිය දුර්වල වී ඇතැයි සදහන් වේ.

සුහානිගේ පියා පැහැදිලි කළේ වෛද්‍යවරුන් පවසන පරිදි මෙම රෝගය සුව වීමට බොහෝ කාලයක් ගත වන බවයි. කෙසේ වෙතත්, ප්‍රතිශක්තිය දුර්වල වීම හේතුවෙන් සුහානි රෝහලේදී ආසාදනයකට ගොදුරු වී ඇගේ පෙණහලු දුර්වල වී, තරලයක් එකතු වී හුස්ම ගැනීම අපහසු වී ඇත. පෙබරවාරි 16 වැනිදා සවස සුහානි මිය ගොස් ඇත.

සුහානිගේ මව තම දියණිය ගැන ප්‍රකාශ කළේ පුදුමාකාර ආඩම්බරයකින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සුහානි පුංචි කාලේ ඉඳලම නිරූපණ කටයුතුවල නියැලුණු හැටි ඇය පවසා තිබේ. දරුවන් 25,000ක් අතරින් ඇය ‘දංගල්’ සඳහා තෝරාගෙන ඇත. ඇය කුඩා කාලයේ සිටම කැමරාවලට හිතකාමී වූවාය. මේ වන විට ඇය ජනසන්නිවේදනය සහ පුවත්පත් කලාව පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිටි බව සදහන් වේ. ඇයට අවශ්‍ය වූයේ අධ්‍යාපනය අවසන් කර පසුව චිත්‍රපටවල වැඩ කිරීමටය.

අමීර් ඛාන්ගේ නිෂ්පාදන ආයතනය සුහානිගේ මරණය පිළිබඳ සටහනක් තබමින් සඳහන් කළේ, “අපේ සුහානිගේ අභාවප්‍රාප්තිය ගැන අසන්නට ලැබීම ගැන අපි දැඩි ශෝකයට පත්වෙනවා. ඇයගේ මව වන පූජාජි ඇතුළු පවුලේ සැමට අපගේ හෘදයාංගම ශෝකය. මෙවැනි දක්ෂ තරුණියක්, එවැනි කණ්ඩායම් ක්‍රීඩිකාවක්, සුහානි නැත්නම් දංගල් අසම්පූර්ණයි.” සටහන අවසන් වූයේ “සුහානි, ඔබ සැමදා අපේ හදවත් තුළ තරුවක් ලෙස පවතිනු ඇත, ඔබට නිවන් සුව ලැබේවා ” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *