තක්සේරුවට අඩුවෙන් විසුම්පාය කාටවත් දෙන්නේ නෑ

රජයේ තක්සේරු මුදලට අඩුවෙන් ‘විසුම්පාය’ ගොඩනැඟිල්ල කිසි විටෙකත් ආයෝජකයන්ට නොදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය. රුපියල් බිලියන 8ක් වටිනා ‘විසුම්පාය’ රජයේ තක්සේරුව නොතකා රුපියල් බිලියන 4කට ආයෝජකයකුට දීමට සූදානම් වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේ කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

“අප වගකීමෙන් කියනවා රජයේ තක්සේරු මුදලට අඩුවෙන් කිසිම අවස්ථාවක විසුම්පාය අපෙ කාටවත් දෙන්න ලෑස්ති නෑ. එහෙම දෙන්න හැකියාවකුත් අපට නැහැ. ආයෝජකයෙක් ඇවිල්ලා චාර්ටඩ් වැලුයුවර් කෙනෙක් හරහා එයාගේ පොපර්ෂල් එකත් එක්ක ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ ඉදිරිපත් කරනකොට චාටර් වැලුවර් දීපු ගානයි අපේ වැලුවේෂන් දෙපාර්තමේන්තුව දීපු ගානයි ඒ වගේ තුන් ගුණයක්. රජයේ වැලුයුවේෂන් එකේ ගණන වැඩියි. චාර්ටඩ් වැලුයුවර් දීපු ගණන අඩුයි. ඒ ආයෝජකයා ඉල්ලීමක් කරලා තිබුණා එයාට නැවත මේක අධ්‍යයනය කරන්න ඕන ඒක නිසා ඒ සදහා අවස්ථාව දෙන්න කියලා. විසුම්පාය අපට සංවර්ධනය කරන්න බැහැ. ඒ හින්දා අපිත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට දීල තියෙනවා මේ සම්බන්ධව සාකච්ඡා කරලා කටයුතු කරන්න කියලා. ඒ අනුව ආයෝජකයාට අපි තවත් මාස 6ක් යල් දීලා තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දුවක් අරන් තියෙනවා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අඩුවෙන් ඒක කරන්නම බැහැ කියලා” යැයි කීවේය.