බොරතෙල් බැරලයකට ඩොලර් 286 ක් ගෙවා හෝ, ගෙවීමට පොරොන්දු වී හෝ නැහැ – ඛනිජ තෙල් සංස්ථාව

ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට අමෙරිකානු ඩොලර් 286 ක අධික මිලක් ගෙවා ඇති බවට HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී Georges Elhedery සිදුකළ ප්‍රකාශය උපුටා දක්වමින් පළවන පුවත් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

සපුගස්කන්ද පිරිපහදුව සඳහා ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනය කරනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පමණක් බවත්, මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාවෙන් පසු මෙරටට ළඟා වන ප්‍රථම බොරතෙල් නෞකාව හෙට (17) දිවයිනට පැමිණෙන බවත් එම සංස්ථාව සඳහන් කරනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන්වනු ලැබූ හෝ ගෙන්වීමට ගිවිසුම්ගත වූ කිසිදු බොරතෙල් තොගයක බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286 ක් ගෙවා හෝ ගෙවීමට පොරොන්දු වී හෝ නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මැදපෙරදිග යුද තත්ත්වය හටගැනීමෙන් පසු පැමිණෙන බොරතෙල් නෞකා සඳහා දළ වශයෙන් බැරලයකට අමෙරිකානු ඩොලර් 71.99, 111.62, 71.81 සහ 113.29 බැගින් ගෙවීමට ගිවිසුම්ගත වී ඇති අතර, එය වෙළෙඳපොළ මිලට සාපේක්ෂව ඉතා වාසිදායක අගයක් බව ද සංස්ථාව පෙන්වා දෙනවා.

අනෙකුත් බලශක්ති සමාගම්වලට සාපේක්ෂව සංස්ථාව වාසිදායක තත්ත්වයක් උදා කරගෙන ඇති අවස්ථාවක, එහි කීර්ති නාමය විනාශ කිරීමේ අරමුණින් කෙරෙන මෙවැනි සාවද්‍ය ප්‍රකාශ තරයේ හෙළා දකින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

 news images