අවුරුදු තෑගි ලබා ගැනීම තහනම් කරමින්, පොලිස් නිලධාරීන්ට උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

තුටුපඬුරු ලබා නොගැනීම සහ අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් නිලධාරීන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බොහෝ පොලිස් ස්ථානවල සංග්‍රහ කටයුතු සිදු කිරීම සඳහා නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීමටත්, ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබා ගනිමින් අවුරුදු සාද පැවැත්වීමටත් සූදානම් වන බවට ලැබී තිබූ තොරතුරු හේතුවෙන් මෙම පියවර ගත් බවයි වාර්තා වන්නේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සුබ පැතීමේ අංගයක් ලෙස පිරිනමනු ලබන ‘හැම්පර්ස්’ සහ තෑගි වවුචර්පත් පිරිනැමීම මෙන්ම, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි දෑ භාර ගැනීම ද සිදු නොකළ යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.

බාහිර පාර්ශ්වයන්ගේ හෝ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් යුතුව පොලිස් ස්ථානවල අලුත් අවුරුදු සාද පැවැත්වීමෙන් වළකින ලෙසයි පොලිස්පතිවරයා නිකුත් කළ උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ‍.