අවු­රුදු සමයේ මහමඟ නීති කඩන කිසි­ව­කු­ටත් සමා­වක් නෑ

අවු­රුදු සමයේ රථ­වා­හන තද­බ­දය හා අන­තුරු අවම කිරී­මට දැඩි ක්‍රියා­මාර්ග ගන්නා අතර මාර්ග නීති උල්ලං­ඝ­නය කරන කිසි­ව­කු­ටත් සමා­වක් නොලැ­බෙන බව පොලී­සිය පව­සයි.

උදා­වන උත්සව සමය වෙනු­වෙන් නග­ර­වල රථ­වා­හන තද­බ­දය පාල­නය කිරීම සහ මාර්ග අන­තුරු අවම කිරීම සඳහා විශේෂ රථ­වා­හන සැලැ­ස්මක් සහ ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරන බව රථ­වා­හන පාලන හා මාර්ග ආර­ක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලි­ස්පති ඩබ්.පී.ජේ. සේනා­ධීර මහතා පව­සයි.

මේ වෙනු­වෙන් දිව­යින පුරා රථ­වා­හන පොලිස් නිල­ධා­රීන් 8,000කට ආසන්න පිරි­සක් රාජ­කාරි සඳහා යොදවා ඇති බව ඒ මහතා අව­ධා­ර­ණය කළේය. උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජන­තාව නග­ර­ව­ලට විශාල වශ­යෙන් රොක් වීම නිසා ඇති වන තද­බ­දය පාල­නය කිරී­මට සිය­ලුම පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රුන්ට උප­දෙස් දී ඇත. විශේ­ෂ­යෙන්ම බහු­විධ වෙළෙඳ මධ්‍ය­ස්ථාන සහ රෙදි­පිළි අලෙ­වි­සල් ආශ්‍රි­තව රථ­වා­හන නැවැ­ත්වීමේ පහ­සු­කම් (Parking) ප්‍රමා­ණ­වත් නොවීම ප්‍රධාන ගැට­ලු­වක් වී ඇති බව නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

මේ හේතු­වෙන් පාරි­භෝ­ගි­ක­යන් තම වාහන ප්‍රධාන මාර්ග­වල හෝ අතුරු මාර්ග­වල නැවැ­ත්වීම නිසා දැඩි තද­බ­ද­යක් ඇති වේ. අදාළ වෙළෙඳ ආය­තන හිමි­ක­රු­වන් තම පාරි­භෝ­ගි­ක­යන් සඳහා රථ­වා­හන නැවැ­ත්වීමේ පහ­සු­කම් සැල­සී­මට වග­බලා ගත යුතු බව ද ඔහු පැව­සීය.

මේ සම්බ­න්ධ­යෙන් තලා­හේන ප්‍රදේ­ශයේ මෑත­කදී විවෘත කළ වෙළෙ­ඳ­ස­ලක් ආශ්‍රි­තව ඇති වූ දැඩි රථ­වා­හන තද­බ­දය පිළි­බ­ඳව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මෙන් පසු, අදාළ වෙළෙ­ඳ­සලේ රථ­වා­හන නැවැ­ත්වීමේ ගැට­ලුව විස­ඳී­මට අපො­හො­සත් වුව­හොත් වෙළෙ­ඳ­සල විවෘ­තව තබන කාලය සීමා කරන ලෙස අධි­ක­ර­ණය නියෝ­ග­කර ඇති බව ද ඒ මහතා අනා­ව­ර­ණය කළේය.

උත්සව සමයේ සිදු වන මාර්ග අන­තුරු පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා පැව­සුවේ, සවස් කාලයේ සහ රාත්‍රී 10.00 දක්වා කාලය තුළ අන­තුරු බහු­ලව සිදු වන බවයි. විශේ­ෂ­යෙන්ම බීමත් රියැ­දු­රන් සහ මත්ද්‍රව්‍ය භාවි­ත­කර වාහන පද­ව­න්නන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට බ්‍රෙත්ල­යි­සර් (Breathalyzers) යන්ත්‍ර සහ වෛද්‍ය පරී­ක්ෂණ මඟින් දැඩි මෙහෙ­යුම් ක්‍රියා­ත්මක කෙරේ.

පසු­ගි­යදා සම­න­ල­වැව ප්‍රදේ­ශ­යේදී පෙර­ළුණු ඉන්ධන බවු­ස­රයේ රියැ­දුරා ද ගංජා පානය කර සිටි අයකු බව තහ­වුරු වී ඇත. එවැනි රියැ­දු­රන්ට කිසිදු සමා­වක් නොදෙන බව හෙතෙම පැව­සීය. මාර්ග­වල අන­තු­රු­දා­යක ලෙස වාහන පද­වන, අධික වේග­යෙන් යන සහ මාර්ග නීති උල්ලං­ඝ­නය කරන රියැ­දු­රන් පිළි­බ­ඳව තොර­තුරු, ඡායා­රූප හෝ වීඩියෝ දර්ශන පොලී­සි­යට ලබා දීමට විශේෂ WhatsApp අංක­යක් හඳු­න්වාදී ඇති බව ද නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය හරහා ලැබෙන මෙවැනි දර්ශන පරී­ක්ෂා­කර වර­ද­ක­රු­වන්ට එරෙ­හිව දැඩිව නීතිය ක්‍රියා­ත්මක කරන බව ද ඔහු වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය. අධි­වේගී මාර්ග­වල පව­තින තද­බ­දය අවම කර­ගැ­නී­මට මුදල් ගෙවී­මේදී හැකි තාක් ක්‍රෙඩිට් කාඩ්පත් (Online payment) භාවිත කරන ලෙස ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින ලදි. එමෙන්ම, නිදි­වැ­රීම සහ අධික වෙහෙස නිසා සිදු වන අන­තුරු වළක්වා ගැනී­මට රියැ­දු­රන් අව­ධා­න­යෙන් සිටිය යුතු බවත්, හික්ක­ඩුව ප්‍රදේ­ශ­යේදී රියැ­දු­රාට නින්ද යෑම නිසා කුඩා දරු­වකු මිය­ගිය පුවත මෙහිදී මතක් කර දෙන ලදි.

කඩු­වෙල ප්‍රදේ­ශයේ රාජ­කාරි කරන නිල­ධා­රීන්ගේ පහ­සු­කම් පිළි­බ­ඳව සමාජ මාධ්‍ය­වල සංස­ර­ණය වන වාර්තා අසත්‍ය බව පැවසූ සේනා­ධීර මහතා, නිල­ධා­රීන්ගේ සුභ­සා­ධ­නය සඳහා පොලි­ස්ප­ති­ව­ර­යාගේ උප­දෙස් මත සියලු පහ­සු­කම් සලසා ඇති බව ද අව­ධා­ර­ණය කළේය.

අන්සතු දේපළ (ඉන්ධන බවු­සර් වැනි) අන­තු­රට පත් වූ අව­ස්ථා­ව­ලදී ඒවා සොර­කම් කිරී­මට පෙල­ඹෙන පුද්ග­ල­යන්ට එරෙ­හිව ද දැඩිව නීතිය ක්‍රියා­ත්මක කරන බවත්, මෙවැනි උත්සව සම­යක විනීත සහ නීති­ග­රුක පුර­වැ­සි­යන් ලෙස කට­යුතු කරන ලෙසත් සේනා­ධීර මහතා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­යේය.

රක්ෂණ ශ්‍රියන්ත