සිංහල හා හින්දු අලුත් අවුරුදු යෙදෙන ලබන 13 සහ 14 දෙදින සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා පවසයි.
රජයේ අනුමැතිය ඇතිව සිංහල අවුරුදු සමයේ සුරාසල්, රටබීම හල්, හෝටල් ආපණශාලා හා කැරෝකි ආපණශාලා හිමියන් මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබාගත් ස්ථාන සියල්ල ඒ අනුව මේ දෙදින වසා තැබේ.
නමුත් කිසියම් බලපත්‍රලාභියකු සුරාබදු නීතිය කඩ කරමින් අදාළ දෙදින මත්පැන් අලෙවි කර හසුවුව හොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පේමරත්න මහතා පැවසුවේය.
සුරාසල් වසා තැබෙන දවස් දෙකේදී කිසියම් මත් ජාවාරමක් සිදු වන්නේ නම් 1913 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසද හෙතෙම කීවේය.
සිංහල හා හින්දු අවුරුදු සමයේ නීතිවිරෝධි මත් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට ගැනීම සඳහා ගාල්ල, අනුරාධපුර, නුවර, කුරුණෑගල හා දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකවල සිටින සුරාබදු නිලධාරීන් සීරුවෙන් සිටින බවද සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.
නිමල් රාජපක්ෂ








