වසර 2024 සංගණන මූලික වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ නව ජනගහනය මිලියන 21.7 ඉක්මවා තිබේ. සංගණන ආඥා පනතේ බලතල ප්‍රකාරව පවත්වන ලද 2024 ජන හා නිවාස සංගණනයේ මූලික තොරතුරු ඇතුළත් වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ. සංගණන අධිකාරී විසින් මෙම වාර්තාව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදි.
මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් (යාවත්කාලීන) ජනගහනය 21,763,170කි. මෙය 2012 වසරේ පැවති ජන සංගණනයට සාපේක්ෂව පුද්ගලයන් 1,403,731ක වැඩිවීමක් වන අතර, 2012-2024 කාලය තුළ වාර්ෂික ජනගහන වර්ධන වේගය සියයට 0.5ක් ලෙස සටහන් වී ඇත.
මෙවර සංගණනයේ දත්ත රැස්කිරීමේ කටයුතු 2024 දෙසැම්බර් 19 දින මධ්‍යම රාත්‍රි 12:00ට යෙදුණු ‘සංගණන මොහොත’ පදනම් කරගනිමින් සිදු කර ඇත. ශ්‍රී ලංකා සංගණන ඉතිහාසයේ ප්‍රථමවරට දත්ත රැස්කිරීම සඳහා ටැබ්ලට් පරිගණක සහ සුහුරු ජංගම දුරකතන භාවිත කිරීම මෙවර විශේෂත්වයකි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි නාගරික ප්‍රදේශවල පවතින සංකීර්ණත්වය හේතුවෙන් එම ප්‍රදේශවල දත්ත රැස්කිරීම 2025 පෙබරවාරි දක්වා සිදු කෙරිණි.
ජනගහන ව්‍යාප්තිය සැලකීමේදී මුළු ජනගහනයෙන් සියයට 28.1ක් පදිංචිව සිටින බස්නාහිර පළාත වැඩිම ජනගහනයක් සහිත පළාත බවට පත්ව ඇති අතර, සියයට 5.3ක් වූ අඩුම ජනගහනය වාර්තා වන්නේ උතුරු පළාතෙනි.
දිස්ත්‍රික් මට්ටමින් සලකා බලන විට, ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සහිත දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය (2,433,685) වාර්තා වේ. දෙවන ස්ථානයේ පසුවන කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 2,374,461කි. මීට අමතරව කුරුණෑගල, මහනුවර, කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ද මිලියනය ඉක්මවූ ජනගහනයක් වාර්තා වී ඇත.
රටේ වැඩිම ජනගහන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්කය ලෙස කොළඹ වාර්තා වන අතර එහි වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 3,549ක් ජීවත් වේ. අවම ජනගහන ඝනත්වය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 50කි.
ජයසිරි මුණසිංහ








