අනතුරට පත් ඉරාන යුද නැවේ 35ක් බේරා ගැනෙති

ගාල්ල වරා­යට නාවික සැත­පුම් හත­ළි­හක් එපිට ශ්‍රී ලංකා මුහුදු සීමා­වට ඔබ්බෙන් ඇති “සමු­ද්‍රීය වෙළෙඳ කලා­ප­යේදී” මුහු­දු­බත් වූ බව සඳ­හන් ඉරාන නාවික හමු­දා­වට අයත් IRIS Dena නෞකාවේ සිටි බව කියන 180 දෙනකු අත­රින් 32 දෙනකු බේරා­ගැ­නී­මට ශ්‍රී ලංකා නාවික හමු­දාව ඊයේ (04) සමත් විය.

ඉන්දි­යන් සාග­රයේ ජාත්‍ය­න්තර මුහුදු සීමාව තුළ තිබූ ඉරාන යුද නෞකා­ව­කට අ‍ෙම­රි­කාව විසින් ප්‍රහාර එල්ල කර එය මුහු­දු­බත් කර ඇති බව අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් පේට් හෙග්සෙත් මහතා විසින් තහ­වුරු කර තිබේ. ඒ ජාත්‍ය­න්තර මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

මෙම ප්‍රහා­රය ජාත්‍ය­න්තර මුහුදු සීමාවේ නාවික සැත­පුම් 4ක් ඇතු­ළත දී සිදු කළ බව අමෙ­රි­කානු රාජ්‍ය ලේක­ම්ව­රයා එහිදී පැව­සීය. ඉන්දි­යන් සාග­ර­යේදී අමෙ­රි­කානු මැදි­හ­ත්වී­මක් (American assets/involvement) හරහා මෙම නෞකා­වට ප්‍රහාර එල්ල කළ බව ද ඔහු සඳ­හන් කළේය.

මුහු­දු­බත් වූ මෙම නෞකාවේ සිටි ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් බේරා­ගත් පිරිස ප්‍රති­කාර සඳහා ගාල්ල කරා­පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කිරී­මට අවශ්‍ය මැදි­හ­ත්වීම් සිදු­කළ බව විදේශ කට­යුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නාවික හමු­දා­වට හා වෙර­ළා­ර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට ඊයේ (04) අලු­යම 05.08ට පමණ ලැබුණු තොර­තු­රක් අනුව අන­තු­රට පත් නෞකාවේ සිටි පිරිස් රෝහ­ල්ගත කිරීම වෙනු­වෙන් මැදි­හ­ත්වීම් සිදු­කළ බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

අදාළ නෞකාව අන­තු­රට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා­වට අයත් මුහුදේ දී නොවන නමුත් ජීවිත බේරා­ගැ­නීම වග­කී­මක් වන බැවින් මෙම මෙහෙ­යුම සිදු­කළ බව විදේශ කට­යුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳ­හන් කළේය.

ජාත්‍ය­න්තර සම්මු­තීන්ට අනුව මේ සම්බ­න්ධ­යෙන් කට­යුතු කළ බවත් ගුවන් හමු­දාව, නාවික හමු­දාව යන දෙපා­ර්ශ්ව­යම මැදි­හත්වී දැඩි ලෙස අන­තු­රට පත්ව සිටි 32 දෙනෙක් පමණ බේරා­ගැ­නීම වෙනු­වෙන් මැදි­හත් වූ බවත් අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

ඊයේ උදේ 6.00 වන විට මේ වෙනු­වෙන් නාවික හමු­දාව මැදි­හත් වූ අතර පෙර­වරු 7.00 වන­විට දෙවන නෞකා­වක්ද යැවූ බව අමා­ත්‍ය­ව­රයා කීය.

මිය­ගිය අයගේ සිරුරු 80ක් පමණ සොයා­ගෙන ඇති බව ආර­ක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රා­මික) සම්පත් තුයි­ය­කොන්තා පැවැ­සීය.

කොප­මණ පිරි­සක් මිය­ගොස් ඇතිද යන්න පැවැ­සිය හැක්කේ මුදා­ගැ­නීමේ මෙහෙ­යුම අව­සන් වීමෙන් පසුව බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකා­ශක කමා­න්ඩර් බුද්ධික සම්පත් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (04) සවස පැවැති මාධ්‍ය සාක­ච්ඡා­වේදී සඳ­හන් කළේය.

“මූලික වශ­යෙන් අපි බලන්නේ ආප­දා­වට ලක්වූ යාත්‍රාවේ ජීවිත ආරක්ෂා කිරීම. ඉන්ප­සුව තමයි මෙය කුමන ආකා­ර­ය­කින් සිදු­වු­ණේද යන්න සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සහ තාක්ෂ­ණික වාර්තා­වක් ලබා­ගන්න පුළු­වන් වෙන්නේ. අපේ ප්‍රධාන අර­මුණ වෙලා තියෙන්නේ තවත් පිරිස් ආර­ක්ෂා­කා­රීව ඉන්නවා නම් ඒ අයව බේර­ගන්න එක. මෙම නෞකාවේ කොප­මණ ප්‍රමා­ණ­යක් ගියාද කියන එක අපිට කියන්න වෙන්නේ ඉදි­රි­යේ­දීයි” යැයි ද බුද්ධික සම්පත් මහතා පැවැ­සීය.

නාවික හමු­දාව එම ස්ථාන­යට යන විට නෞකා­වක් එම ස්ථානයේ නොති­බුණු බවත් සුළු තෙල් පැල්ල­මක් මුහුදේ තිබුණු බවත් ද ඔහු කීය. ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ යානා මඟින් එය නිරී­ක්ෂ­ණ­ය ද කර තිබේ. අන­තු­රට ලක්වූ නැව එම ස්ථානයේ තිබූ බව හඳු­නා­ගනු ලැබුවේ එම තෙල් පැල්ල­මෙන් බව ද ඔහු කීය.

මෙම නෞකාවේ ගමන් මඟ ගැන මෙතෙක් කිසි­වක් අනා­ව­ර­ණය නොවන අතර කෙලෙස ආප­දා­වට ලක්වූ­වාද යන විස්තර ඉදිරි විම­ර්ශ­න­ව­ලින් පසුව ප්‍රකාශ කළ හැකි බව ද බුද්ධික සම්පත් මහතා පැව­සීය. ‍

මේ අන­තුර සිදුවූ ස්ථානය ආශ්‍රි­තව ධීවර ජන­තාව දැනු­වත් කර ඇති අතර ධීවර ජන­තාව හොඳ වග­කී­ම­කින් නාවික හමු­දා­වට සහ ගුවන් හමු­දා­වට සහය දක්වන බවත් ඔහු කීය.

ඉරාන නාවික හමු­දා­වට අයත් නෞකා­වක් බව පැහැ­දිලි වුවත් එම නෞකාව කුමන හේතු­ව­කට කුමන දිශා­ව­කට ගමන් කළේද? මෙන්ම කුමන අර­මු­ණ­කින් ගමන් කළේද යන්න පැහැ­දිලි තොර­තුරු තවම අනා­ව­ර­ණය වී නැති බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා කියා සිටි­යේය.

ශ්‍රී ලංකා නාවික හමු­දාව කලා­පයේ සහ ජාත්‍ය­න්තර හමු­දා­වන් සමඟ ඉතා­මත්ම මනාව සැල­සුම් සහ­ග­තව කට­යුතු කරනු ලබන බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

කරා­පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කළ පිරිස අත­රින් එක් අයෙක් පම­ණක් ආබාධ සහි­තව සිටින බවත් සාමාන්‍ය තත්ත්වයේ 07 දෙනෙක් සිටින බවත් රෝහල් අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංගා මහතා පැවැ­සීය. සෙසු අයට ඇත්තේ සුළු තුවාල බව ද රෝහල් අධ්‍ය­ක්ෂ­ව­රයා කීය.

රෝහ­ල්ගත කර සිටි පිරි­සගේ සුව­දුක් විමසා බැලී­මට ඉරාන තානා­පති කාර්යා­ලයේ නිල­ධා­රින්ද පැමිණ තිබිණි.

පව­තින තත්ත්වය හමුවේ කරා­පි­ටිය රෝහලේ සහ ඒ අවට ආර­ක්ෂාව තර කිරී­මට පොලී­සි­යත්, හමු­දා­වත් පිය­වර ගෙන තිබිණි. මුහුදේ පාවෙ­මින් තිබුණු සිරුරු ගොඩ­බි­මට රැගෙන ඒමට අවශ්‍ය කට­යුතු සිදු­වෙ­මින් පැවැති බව ද ආරංචිමාර්ග සඳ­හන් කළේය. මුහු­දු­බත් වූ නෞකාව මීට වසර 11කට පමණ පෙර ඉදි­කි­රීම් අව­සන් කර 2021 වස­රේදී ඉරාන නාවික හමු­දාව යටතේ අධි­කා­රි­ත්ව­යට පත් කරන ලද එකක් බව සඳ­හන්ය. මෙම නෞකාව මීටර් 95ක දිගින් යුක්තය. හෙලි­කො­ප්ටර් යානා පවා ගොඩ­බැ­ස්විය හැකි අති නවීන යුද සහ යුද අභ්‍යාස පහ­සු­කම් රැස­කින් ‍ මෙම නෞකාව සම­න්වි­තය. මෙහි බෙල් 212 වර්ගයේ හෙලි­කො­ප්ටර් යානා­වක්ද අන්ත­ර්ග­තව තිබී ඇත. නෞකාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩ­ලය 250 දෙනෙ­කු­ගෙන් පමණ සම­න්වි­තය.