දෙමටගොඩ රුවන්ට ඇප ලබාදීමට උපකාර කිරීම සඳහා රුපියල් ලක්ෂ 150 ක අල්ලසක් ගත් සිද්ධියේ සැකකරුවකු ලෙස දුමින්ද සිල්වා නම් කරයි

අයථා ලෙස වත්කම් ඉපැයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘දෙමටගොඩ රුවන්’ නමැති සැකකරුට ඇප ලබා දීම සඳහා අවශ්‍ය උපකාර කිරීමට රුපියල් ලක්ෂ 150 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සැකකරුවකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නම් කරන බව අල්ලස් කොමිසම විසින් දැනුම් දී තිබුණා.

මෙම පැමිණිල්ල ඊයේ (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අතර, මෙම පැමිණිල්ලේ තවත් සැකකරුවකු ලෙස නම් කර ඇති, අත්අඩංගුවට ගත් මොහොමඩ් සප්රාස් නමැති සැකකාර ව්‍යාපාරිකයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඉහත දැනුම්දීම සිදු කර තිබෙනවා.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින්, දෙමටගොඩ රුවන් නමැති සැකකරුට ඇප ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන් කර සිටියා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගේ අනුදැනුම මත මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බව සඳහන් කළ එම කොමිසමේ නිලධාරීන්, රුපියල් ලක්ෂ සීයක අල්ලස් මුදලක් ලබාගත් තවත් සැකකරුවකු මේ වන විට මියගොස් ඇති බවත් සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ පැමිණිල්ලේ සැකකරුවකු වශයෙන් ආර්. දුමින්ද සිල්වා නම් කර ඉදිරි විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළා.

සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන විමර්ශනයක් අනුව, දෙමටගොඩ රුවන් යන අය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී දෙමටගොඩ රුවන්ගේ පවුලේ සාමාජිකයන් හා පුතා අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට සහ රුවන්ට ඇප ලබා දීම සඳහාත් රුවන්ගේ පුතා වන තරිඳු යන අයගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

තරිඳු නමැත්තා ආර්. දුමින්ද සිල්වා හමුවූ අවස්ථාවක, අද දින රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ සැකකාර ව්‍යාපාරිකයා හමුවන ලෙස ඔහු විසින් උපදෙස් දී ඇති බවත්, එසේ හමුවීමෙන් පසුව අදාළ මුදල් ලබාදෙන ලෙසත් සඳහන් කර ඇතැයි පැවසූ අල්ලස් කොමිසම, ඒ අනුව මෙම පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස ආර්. දුමින්ද සිල්වා නම් කරන බවත් සඳහන් කළා.

මෙහිදී සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, පැමිණිලිකරු විසින් මුදල් ලබා ගැනීමට එරෙහිව කළ පැමිණිල්ල පසුව ඉල්ලා අස්කරගෙන ඇත්තේ ඇයි දැයි විමසූ අතර, ඊට පිළිතුරු ලබා දුන් අල්ලස් කොමිසම සඳහන් කළේ පැමිණිලිකරුට ඇති තර්ජන හේතුවෙන් අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන ඇති බවයි.