රට තුළ ඉන්ධන ගැටලුවක් ඇති බවට රජය නිල වශයෙන් දැනුම් දී නොමැති නිසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රට පුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල දැනට ක්‍රියාත්මක කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා “දිනමිණ” ට ඊයේ (02) පැවැසීය.
සංගමයේ ඉල්ලීම්වලට රජය ඇහුම්කන් නොදීම නිසා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් සාකච්ඡා මාර්ගයෙන් එය විසඳා ගැනීමට රජය කැමැත්තක් දක්වන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය සඳහා ක්‍රියාවට නංවන Òආරෝග්‍යාÓ ව්‍යාපෘතියෙන් ඊයේ (02) සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස ඉවත් වූ බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවැසීය.
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳීම, අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම, පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳීම, පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදෙන වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම, සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම යනාදී ගැටලු මුල්කර ගනිමින් සංගමය ක්‍රියාවට නංවා ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයෙන් විසඳුම් ලබා නොදීම නිසා මේ තීරණය ගත් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන්ට ඕනෑ තරම් කාලයක් ලබා දී තිබුණ ද, විසඳුම් ලබාදීම සඳහා එම පාර්ශ්වයන් කිසිදු සාධනීය හෝ අවංක මැදිහත්වීමක් සිදු නොකරන පසුබිමක අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ග හතක් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔහු පැවසුවේය. රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, රෝහල තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කඳවුරු සහ සායන සඳහා ස්වේච්ඡාවෙන් සහභාගි වීමෙන් ඉවත් වීම, අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුළ විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකකවලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම,
රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්ය මණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම, සියලු විශේෂඥ වෛද්‍යවරුන් තම ආවරණ රාජකාරිවලින් ඉවත් වීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සහ ඍජු අධීක්ෂණයෙන් සිදු වන ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ නිල දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ අදාළ කාර්යාල සඳහා ලබාදීමෙන් ඉවත් වීමට තීරණය කිරීම යනාදී වෘත්තීය ක්‍රියාමාර්ගවල යෙදෙන බව ද ඒ මහතා කීය.
සන්ධ්‍යා කරුණාරත්න







