ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ කොරියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය වන යුයි-හේ සිසිලියා චුන්ග් (Eui-Hae Cecilia Chung) මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකචඡාවක් ඊයේ (25) සෝල් නුවරදී පවැත්විණි.
මෙම සාකච්ඡාවේදී , ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය ඇතුළුව, අඛණ්ඩ ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියට සමගාමීව ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීම, විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම, සංවර්ධන සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.
දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට කොරියානු ජනරජය ලබාදුන් කාලෝචිත ආධාර පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය . ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ජාතික මුලපිරීම් සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.
ඉදිරි වසරවලදී ශ්‍රී ලංකා–කොරියානු ජනරජ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ හවුල් කැපවීම මෙම සාකච්ඡාදී තහවුරු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර වර්ධනය වෙමින් පවතින සමාජ හා සංස්කෘතික බැඳීම්, විශේෂයෙන් ශ්‍රී ලාංකික තරුණ පරපුර කොරියානු සංස්කෘතිය සමඟ ඇති සම්බන්ධතාව, දෙරට ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට සාර්ථක ලෙස දායක වන බවද ඔහු අවධාරණය කළේය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 50ක් පිරීම ලබන වසරේ සැමරීමට නියමිත අතර, එම සන්ධිස්ථානය උචිත ලෙස සමාරම්භ කිරීමත් ඉහළ මට්ටමේ සංචාර සහ ආයතනික සම්බන්ධතා ශක්තිමත් කිරීමත් ඇතුළුව කටයුතු කිරීමට දෙපාර්ශවයම එකඟ විය.








