මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
විත්තිකාර ඩේසි ෆොරස්ට් නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බවත්, ඒ අනුව ඇය නිදහස් කරන ලෙසත් ඇයගේ නීතිඥවරු මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.
ඒ අනුව අදාළ විත්තිකාරියගේ මානසික තත්ත්වය පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් වාර්තාවක් කැඳවීමටද විනිසුරුවරයා නියෝග කළේය.
ඒ අනුව නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩේසී ෆොරස්ට්ට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවාද? යන කරුණ පිළිබඳ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට එම වාර්තාව තුළින් වෛද්‍යවරු නිර්දේශ නිකුත් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
“ස්වාමීනි…මෙම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරියා, මානසික රෝග විශේශඥ වෛද්‍යවරු කිහිප දෙනෙක්, කායික රෝග විශේශඥ වෛද්‍යවරු කිහිප දෙනෙක් හා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළත්.
මෙම වෛද්‍ය මණ්ඩලය විසින් දෙවන විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙත ඉදිරිපත් කළ සෑම ප්‍රශ්නයකටම අයි ඩෝන්ඩ් නෝ (I don’t know) අයි කාන්ට් රිමෙම්බර් (I can’t remember) ලෙස පිළිතුරු ලබා දුන් බව සඳහන් කර තිබෙනවා” යනුවෙන් සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා,
” ඒ අනුව දෙවන විත්තිකාරියට නඩු විභාගයකට සහභාගී වෙමින් විත්ති වාචිකයක් ඉදිරිපත් කිරීමට, නීතී උපදෙස් ලබාදීමට, වැරදිකාරභාවය හෝ නිවැරදිකාරභාවය පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට එම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබෙනවා.
ඇයට අධිකරණ ක්‍රියාපටිපාටිය අනුගමනය කළ නොහැකි බවත්, විශේශඥ වෛද්‍ය මණ්ඩලය නිගමනය කර තිබෙනවා” යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඒ අනුව දෙවන විත්තිකාරිය නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම චෝදනා පත්‍රය සංශෝධනය කර පළමු විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් ඔහු පැවසීය.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට්ට එරෙහිව තිබූ අධිචෝදනාවලින් ඇය නිදහස් කරන ලෙස නියෝග කළේය.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව මාර්තු මස 27 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.








