ඉහළම බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වරප්‍රසාද කාඩ්පත්

බදු වගකීම් නිරන්තරයෙන් ඉටු කරන වගකිවයුතු පුරවැසියන් ඇගයීම සහ දිරිමත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විශේෂ වරප්‍රසාද කාඩ්පත් ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ජාතික සංවර්ධනයට දායක වන බදු ගෙවන්නන්ගේ කැපවීම, අවංකභාවය සහ පුරවැසි වගකීම වෙනුවෙන් උපහාරයක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

පුද්ගල බදු ගෙවන්නන් විසින් ස්වයං තක්සේරු බදු (Self-Assessed tax) ගෙවීම දිරිමත් කිරීම, පුද්ගල බදු ගෙවන්නන් අතර බදු පැහැර හැරීම අවම කිරීම, ඉහළ දායකත්වයක් දක්වන බදු ගෙවන්නන් හඳුනා ගැනීම සහ ඔවුන්ට ගෞරව කිරීම මෙහි අරමුණුයි.

පහත සඳහන් සියලුම කොන්දේසි සපුරා ඇති පුද්ගල බදු ගෙවන්නෙකුට පමණක් වරප්‍රසාද කාඩ්පතක් ලබා ගැනීමට සුදුසුකම් ලබනවා.

බදු ගෙවන්නා විසින් වහාම පූර්වගාමී තක්සේරු වර්ෂය සඳහා හිමි වාර්ෂික ස්වයං තක්සේරු බදු මුදලට සමාන හෝ ඊට වැඩි ආදායම් බදු මුදලක් ගෙවා තිබිය යුතුය.

බදු ගෙවන්නා විසින් වහාම පූර්වගාමී තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් වාර්තාව (Retu of Income) පසුගිය වසරේ නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කර තිබිය යුතුය. (ආදායම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන පුද්ගලයන්ට මෙය අදාළ නොවේ).

ආදායම් වාර්තාවේ සඳහන් කර ඇති සියලුම බදු (ස්වයං තක්සේරු ගෙවීම් ඇතුළුව) නියමිත දිනට හෝ ඊට පෙර ගෙවා තිබිය යුතුය.

මූලාශ්‍රයෙන් බදු අඩු කිරීම් (Source tax deductions) සිදු කර ඇත්නම්, එම බදු මුදල් සහ අදාළ වාර්තා රඳවා ගැනීමේ නියෝජිතයා විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත නියමිත දිනට පෙර ඉදිරිපත් කර තිබිය යුතුය.

බදු ගෙවන්නාගේ අතීත බදු අනුකූලතාවය (Compliance history) යහපත් මට්ටමක පැවතිය යුතුය.

අදාළ තක්සේරු වර්ෂය තුළ පුද්ගල බදු ගෙවන්නා සිදු කළ ආදායම් බදු දායකත්වය මත පදනම්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කාණ්ඩ දෙකක වරප්‍රසාද කාඩ්පත් නිකුත් කරයි:

ඒ අනුව වහාම පූර්වගාමී තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 5 ක් හෝ ඊට වැඩි ආදායම් බද්දක් ගෙවා ඇති පිරිසට රන් කාඩ්පත (Gold Card) හිමිවනු ඇත.

උදාහරණ ලෙස 2023/2024 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 5ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවූ පුද්ගලයන් 2025 වසරේදී රන් කාඩ්පතක් සඳහා සුදුසුකම් ලබයි.

එමෙන්ම රන් කාඩ්පතක් සඳහා සුදුසුකම් ලබන පුද්ගලයෙකු එම වසරේම රිදී කාඩ්පතක් සඳහා සුදුසුකම් නොලබයි.

වහාම පූර්වගාමී තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 3 ක් හෝ ඊට වැඩි, නමුත් රුපියල් මිලියන 5 කට අඩු ආදායම් බද්දක් ගෙවා ඇති පිරිස රිදී කාඩ්පත (Silver Card) සඳහා සුදුසුකම් ලබයි.

උදාහරණ: 2023/2024 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 3ත් 4,999,999ත් අතර බදු මුදලක් ගෙවූ පුද්ගලයන් 2025 වසරේදී රිදී කාඩ්පතකට හිමිකම් කියයි.

වරප්‍රසාද කාඩ්පත සඳහා අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටිය පහතින්.

සුදුසුකම් ලබන බදු ගෙවන්නන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඇති නිශ්චිත ආකෘතියට අනුව සම්පූර්ණ කරන ලද අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය.

අයදුම්පත් පූර්වගාමී දින දර්ශන වර්ෂයේ නොවැම්බර් 15 දින සිට අදාළ වර්ෂයේ ජනවාරි 31 දින දක්වා ආදායම් අධීක්ෂණ ඒකකයේ (Revenue Monitoring Unit) කොමසාරිස් වෙත යොමු කළ යුතුය.

උදාහරණ: 2026 වසර සඳහා අයදුම්පත 2025.11.15 දින හෝ ඊට පසුව, නමුත් 2026.01.31 දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2025.12.31 දක්වා දීර්ඝ කර ඇති බැවින්, වරප්‍රසාද කාඩ්පත් අයදුම්පත් භාරගැනීමද 2026.02.28 දක්වා දීර්ඝ කර තිබෙනවා.

අයදුම්පත සමඟ පහත ලේඛන අමුණා තිබිය යුතුයි.

අදාළ ආදායම් වාර්තාවේ පිටපතක් (අදාළ වන්නේ අයදුම්කරුට බදු ලිපගොනුවක් ඇති අතර වාර්තාව අතින් (Manually) ඉදිරිපත් කර ඇත්නම් පමණි).

ජාතික හැඳුනුම්පතේ (NIC) හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්.

T-10 සහතිකයේ පිටපතක් (අදාළ වේ නම්)

සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ ලේඛන පහත ක්‍රමවලින් එකක් මගින් ඉදිරිපත් කළ හැකි අතර [email protected] වෙත විද්‍යුත් තැපෑලයක් ලෙසද එවීමේ හැකියාවක් තිබෙනවා.

අතින් ගෙනැවිත් දීම හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීමේදී ආදායම් අධීක්ෂණ ඒකකය, 6 වන මහල, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ලිපිනිය භාවිතා කළ හැකියි.

අයදුම්කරු සියලු සුදුසුකම් සපුරා ඇති අතර කොමසාරිස් ජනරාල්වරයා ඔහුගේ/ඇයගේ බදු අනුකූලතාවය පිළිබඳව සෑහීමකට පත් වන්නේ නම්, අයදුම්පත ඉදිරිපත් කර සති තුනක් (3) ඇතුළත වරප්‍රසාද කාඩ්පත නිකුත් කරනු ලැබේ. කෙසේ වෙතත්, අදාළ වර්ෂය සඳහා වන කාඩ්පත් නිකුත් කරනු ලබන්නේ එම වසරේ ජනවාරි 1 වන දින හෝ ඊට පසුව බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.