රෝග රැසකට එකම එන්නතක් – ලාංකික මහාචාර්යවරයෙක් ලොවක් මවිත කරයි

කැස්ස, හෙම්බිරිස්සාව, ඉන්ෆ්ලුවෙන්සාව (Flu) පමණක් නොව, පෙනහළු ආසාදනය කරන බැක්ටීරියා සහ ඇදුම වැනි අසාත්මිකතාවන්ට පවා එරෙහිව සටන් කළ හැකි තනි “විශ්වීය එන්නතක්” (Universal Vaccine) ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා තිබෙනවා.

ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවේ උපන් ප්‍රතිශක්ති විද්‍යාඥ මහාචාර්ය බාලි පුලේන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම පර්යේෂණය, වසර 200ක එන්නත් ඉතිහාසය වෙනස් කරන “විප්ලවීය පියවරක්” ලෙසයි විද්‍යාඥයෝ හඳුන්වන්නේ.

සාමාන්‍යයෙන් එන්නතක් නිපදවන්නේ එක් නිශ්චිත රෝගයකට (උදා: සරම්ප හෝ පැපොල) එරෙහිව පමණි.

නමුත් මෙම නව එන්නත නාසයට විදින ස්ප්‍රේ එකක් (Nasal Spray) ලෙස ලබා දෙන අතර, එමගින් ඕනෑම වෛරසයකට හෝ බැක්ටීරියාවකට එරෙහිව සටන් කිරීමට ශරීරය සූදානම් කරන බවයි වාර්තා වෙන්නේ.

මෙය ශරීරයේ ප්‍රතිශක්තිකරණ සෛල එකිනෙකා සමඟ සන්නිවේදනය කරන ආකාරය අනුකරණය කරයි. එමගින් පෙනහළුවල ඇති සුදු රුධිරාණු ඕනෑම ආක්‍රමණිකයෙකුට එරෙහිව සටන් කිරීමට සීරුවෙන් (Amber Alert) තබනවා.

සතුන් යොදාගෙන කළ පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ, මෙමගින් වෛරස් ශරීරයට ඇතුළු වීම 100 ගුණයක සිට 1000 ගුණය දක්වා ප්‍රමාණයකින් අඩු කරන බවයි.

එමෙන්ම එහි බලපෑම මාස තුනක් පමණ පවතින බවත් සොයාගෙන තිබෙනවා.

මෙම එන්නත මගින් නිවාසවල දූවිලි මයිටාවන් නිසා ඇතිවන අසාත්මිකතා සහ ඇදුම රෝගී තත්ත්වයන් පවා පාලනය කිරීමට හැකි බවයි මහාචාර්ය පුලේන්ද්‍රන් පවසන්නේ.

“අපි මෙය හඳුන්වන්නේ ‘විශ්වීය එන්නතක්’ ලෙසයි. මෙය ඉන්ෆ්ලුවෙන්සා හෝ කොවිඩ්වලට පමණක් නොව, සාමාන්‍ය හෙම්බිරිස්සාවට වගේම අප පරීක්ෂා කළ සෑම බැක්ටීරියාවකටම එරෙහිව පුළුල් ආරක්ෂාවක් ලබා දෙනවා.”

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙලා ෆෙරේරා පවසන්නේ මෙය ශ්වසන රෝගවලින් මිනිසුන් ආරක්ෂා කරන ආකාරය සහමුලින්ම වෙනස් කළ හැකි “ඉතා උද්යෝගිමත් පර්යේෂණයක්” බවයි.

මෙම එන්නත මිනිසුන් යොදාගෙන සිදුකරන සායනික පරීක්ෂණ (Clinical Trials) ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත අතර, එය සාර්ථක වුවහොත් අනාගතයේදී රෝග රැසකට වෙන් වෙන්ව එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාවය නැති වී යනු ඇති.