නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) හිටපු අධ්යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.
2024 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් නිකුත් කර තිබුණු නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ වගඋත්තරකරුට මාර්තු 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ ප්‍රශ්න කලින් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ක් විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2024 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබුණු අතර, එම තීන්දුවට අනුව අදාළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක මුදලක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බවත්, අදාළ මුදල මෙම තීන්දුව නිකුත් කළ දින සිට සති හතරක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර තිබුණා.
එහෙත් වගඋත්තරකරු විසින් එම නියෝගය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත්, ඒ අනුව ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර, එම ඉල්ලීම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉහත නියෝගය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








