ග්‍රාම නිලධාරී සේවයට හඳුන්වා දුන් නව සේවා ව්‍යවස්ථාවෙන් තමන්ට සිදුව ඇති අසාධාරණයට එරෙහිව එළඹෙන මාර්තු 03 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වීමට 2009/2010 ග්‍රාම නිලධාරී කණ්ඩායම තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ප්රගතිශීලී ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ඒ.ඒ. හිරන්ත සඳහන් කරන්නේ 2007 වර්ෂයේ තරග විභාගයෙන් සමත්ව සේවයට එක්වූ මෙම කණ්ඩායමට බඳවා ගැනීමේ සිට මේ දක්වාම අඛණ්ඩව අසාධාරණකම් සිදුව ඇති බවයි.
2026 මාර්තු 02 වන දින වන විට ග්‍රාම නිලධාරී සේවයේ වසර 17ක් සම්පූර්ණ කර ඇති, දැනට සක්‍රීය සේවයේ සිටින නිලධාරීන්ගෙන් 25%කට ආසන්න සංඛ්‍යාවක් එනම් 2300කට අධික පිරිසක් මෙම නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවද ඔහු පවසනවා.
තම ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළද, මෙතෙක් සාධනීය විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි එම සංගමය පවසන්නේ.
මෙම නිහඬ විරෝධතාව සඳහා සෙසු ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් මෙන්ම පරිපාලන ග්‍රාම නිලධාරී සංගම් ද සිය සහයෝගය පළ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.
රජය තවදුරටත් සිය ඉල්ලීම් නොසලකා හරිමින් කල්මරන්නේ නම්, ඉදිරියේදී මීට වඩා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවට ද 2009/2010 ග්‍රාම නිලධාරී කණ්ඩායම අනතුරු ඇඟවීමක් ද කර තිබෙනවා.








