ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (19) මෙම අනතුරු සිදුව තිබුණේ තෙල්දෙණිය, පදියතලාව, වෙරළබඩ සහ බණ්ඩාරගම යන පොලිස් වසම්වලදීය.
මහනුවර පදියතලාව මාර්ගයේ මොරගහමුල ප්රදේශයේදී යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, 46 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙකි.
මේ අතර පදියතලාව පොලිස් වසමේ කෙහෙල්උල්ල ප්රදේශයේදී ටිපර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ ටිපර් රථයේ රියැදුරු පදියතලාව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රථිකාර සඳහා මහඔය රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, පදියතලාව ප්රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.
මේ අතර වෙරළබඩ පොලිස් වසමේ වරාය පරිශ්රයේ බර අඬු එසවුම් යන්ත්රයක් අදියර තුනේ සිට අධියර දෙක දෙසට ධාවනය කරන අවස්ථාවේ ඊට ඉදිරියෙන් එම දිශාවටම ධාවනය කල යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදියේ පසුපැදිකරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, රිදීගම ප්රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර බණ්ඩාරගම – පානදුර මාර්ගයේ බණ්ඩාරගම නගරයේදී හොරණ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පදිකයා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රථිකාර සඳහා පානදුර රෝහලට මාරුකර යවා ප්රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 65 ක් වූ බණ්ඩාරගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.








