මහ ඡන්දෙටත් ඉල්ලලා පරාදයි
වෙන්නප්පුව සභාවේ මන්ත්‍රී ධුරයකුත් දරලා
තවත් හොර ඔප්පු නඩු 25ක්
වයික්කාල, තමරවිල පදිංචි පුද්ගලයකුට අයත් ඉඩමකට ව්‍යාජ ලෙස ඔප්පුවක් සකස්කර මුදල් ලබාගෙන වංචා කිරීම, කූට ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කරමින් නීතිඥවරයෙක්ට හා තවත් පුද්ගලයකුට බරපතළ වැඩ සහිතව වසර 16ක සිර දඬුවමක් හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි තමාරා වික්‍රමසේකර මහත්මිය විසින් ඊයේ (18) නියෝග කළාය.
මෙලෙස දඬුවම් නියම කෙරුණේ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නීතිඥ වර්ණකුලසූරිය රන්පටි දේවගේ සමන් කුමාර යන දෙදෙනාටය.
2009 වසරේ මාර්තු මස 03 වන දින හෝ ඊට ආසන්න දිනයකදී හලාවත අධිකරණ බල සීමාව තුළ පිහිටි වයික්කාල ප්‍රදේශයේදී වර්ණකුලසූරිය ජෝන් සරත් කුමාර තිසේරා යන අයට අයත් අංක 5757 දරන අක්කර 03යි රූඩ් 02යි පර්චර්ස් 34ක් විශාල ඉඩම් කොටස් දෙකක් සඳහා ව්‍යාජ ඔප්පු 26ක් සකස්කර විකුණා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේ විභාග වන නඩු 26කින් එක් නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් මෙම සිර දඬුවම මෙම චුදිතයන්ට නිකුත් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් වර්ණකුලසූරිය ජෝන් සරත් කුමාර තිසේරා විසින් 2011 වසරේ ජුනි 07 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදු කරනු ලැබීය.
අදාළ ඉඩම 2009 මාර්තු 03 වැනි දිනැති විකුණුම්කරය මඟින් පවරා දෙන බව දක්වා කරුනාචාරිගේ සුසන්තා යන අය රවටා එකී ඉඩම මිලදී ගැනීමේ ප්‍රතිෂ්ඨාව වශයෙන් රුපියල් 3,000,000 ක මුදලක් 01 වන චුදිත වෙත භාර දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව චුදිතයන්ට මෙම සිර දඬුවම නියම වී තිබේ.
වර්ණකුලසූරිය ජෝන් සරත් කුමාර තිසේරා විසින් අංක 5757 දරන 2009.03.03 වන දිනැති විකුණුම්කරය මඟින් පවරා දෙන බව දක්වා කරුනාචාරිගේ සුසන්තා යන අය රවටා එකී ඉඩම මිල දී ගැනීමේ ප්‍රතිෂ්ඨාව වශයෙන් රුපියල් 3,000,000ක මුදලක් ලබා ගැනීම, ආධාර අනුබල දීම, අසත්‍ය ලේඛනයක කොටසක් සකස් කිරීම ඇතුළු චෝදනා පහක් විත්තිකරුවනට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබිණි.
මෙහිදී පළමු විත්තිකරු වන රන්පටි දේවගේ සමන් කුමාර යන අය පළමු චෝදනාවට වරදකරු කරමින් වසර තුනක සිර දඬුවම් හා රුපියල් තිස් දහසක දඩයක් නියම කළ අතර දඩය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිතව මාස තුනක සිර දඬුවම් නියම කරන ලදි.
දෙවන චෝදනාවට වරදකරු කරමින් වසර තුනක සිර දඬුවම් හා රුපියල් පනස් දහසක දඩයක් නියම කරන ලදි. දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදි. සිවුවන චෝදනාවට වරදකරු කරමින් වසර දහයක සිර දඩුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් ද දඩය නොගෙවන්නේ නම් මාස දෙකක සිර දඬුවම්ද නියම කරන ලදි.
දෙවන විත්තිකරු වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නීතිඥ වර්ණකුලසූරිය ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු යන අය පළමු චෝදනාවට වරදකරු කරමින් වසර තුනක සිර දඬුවම් හා රුපියල් තිස් දහසක දඩයක් නියම කළ අතර, දඩය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිතව මාස තුනක සිර දඬුවම් නියම කරන ලදි. තෙවන චෝදනාවට වරදකරු කරමින් වසර තුනක සිර දඬුවම් හා රුපියල් පනස් දහසක දඩයක් නියම කරන ලදි. දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදි. පස් වන චෝදනාවට වරදකරු කරමින් වසර දහයක සිර දඬුවම් හා රුපියල් ලක්ෂයක දඩයක්ද දඩය නොගෙවන්නේ නම් මාස දෙකක සිර දඬුවම්ද නියම කරන ලදි. විත්තිකරුවන් දෙදෙනාටම පළමු පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ අටක් බැගින් වන්දියක් ගෙවීමට ද නියෝග කළාය. මේ වන්දිය නොගෙවන්නේ නම් මාස 12ක සිර දඬුවම් නියම කෙරිණි.
දෙදෙනාටම සිර දඬුවම් එකවර ගෙවියාමට නියෝග ලබා දී ඇත.
මෙම විත්තිකරුවන්ට එරෙහිව මෙම ඉඩමට අදාළව තවත් නඩු 25ක් හලාවත මහාධිකරණයේ විභාග වෙමින් තිබේ. එම නඩු ලබන මැයි 12 වන දින නැවත කැඳවීමට ද විනිසුරුවරිය නියෝග කළාය.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි රජයේ අධිනීතිඥ ඔස්වෙල්ඩ් පෙරේරා ප්‍රකාශ කළේ, වයඹ පළාතේ ඉඩම් ජාවාරම් ජයටම සිදුවන අතර වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම නීතිඥයනට පැවරෙන වගකීමක් බවයි. මේ හේතුවෙන් ජනතාව තුළ විශ්වාසය පලුදු විය හැකි බව පෙන්වා දුන් රජයේ අධිනීතිඥ ඔස්වෙල්ඩ් පෙරේරා, ඒ හේතුවෙන් විත්තිකරුවනට බරපතළ දඬුවම් ලබා දිය යුතු බව පැවසීය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙහිදී කියා සිටියේ, විත්තිකරුවනට පෙර වැරදි නොමැති බවයි. එසේම එක් විත්තිකරුවෙකු නීතිඥයෙකු, නොතාරිස්වරයෙකු හා ප්‍රදේශයේ මහජන නියෝජිතයකු ලෙස වසර 29කට ආසන්න කාලයක් කටයුතු කරන බවයි.
සියලු කරුණු සැලකිල්ලට ගත් හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි තමාරා වික්‍රමසේකර විත්තිකරුවන් දෙදෙනාට දඬුවම් නියම කෙරිණි.
පුත්තලම දිසා සමූහ
ප්‍රසාද් පූර්ණමාල්








