“නීතිය ඉදිරියේ සැවොම සමානයි” වදනට මේ වසරේදී පණ දෙනවා

මෙම වසර “නීතිය ඉදි­රියේ සැවොම සමා­නයි” යන්නට පණ දෙන වසර බවට පත්ක­රන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ, ඊයේ (11) පස්ව­රුවේ නුව­ර­එ­ළිය නග­රයේ පැවති විෂ මත්ද්‍රව්‍ය උව­දුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙ­යුමේ මධ්‍යම පළාත් වැඩ­ස­ට­හ­නට එක්වෙ­මිනි.

නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය බිඳ­වැ­ටුණු කිසිදු රටක් සංව­ර්ධ­නය අත්පත් කර­ගෙන නොමැති බව ද එහි දී සඳ­හන් කළ ජනා­ධි­පති අනුර කුමාර දිසා­න­යක මහතා, කිසිදු දරු­වෙක් මත්ද්‍රව්‍ය ව්‍යස­නයේ ගොදු­රක් බවට පත් නොවන රටක් ගොඩ­න­ඟන බව ද ප්‍රකාශ කළේය.

තම කණ්ඩා­ය­මට බේරන්න කුඩු ව්‍යාපා­රි­කයෝ, ජාවා­ර­ම්ක­රුවෝ නොමැති බවත්, මත්ද්‍රව්‍ය උව­දුර තුරන් කිරී­මට සියලු දෙනා එක් වෙමු යැයිද ජනා­ධි­ප­ති­ව­රයා එහිදී ඉල්ලා සිටි­යේය.

මේ වන­විට අනු­ග­ම­නය කරන්නේ කිසිදු පාර්ශ්ව­ය­කට ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රති­ප­ත්ති­යක් යැයිද පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා, 2027 වසරේ දී 03 වැනි වැටුප් වර්ධ­කය ලබා දීමෙන් පසු රාජ්‍ය සේවක අනෙ­කුත් දීමනා ලබා දීමට අව­ධා­නය යොමු කරන බව ද කීය.

නීතිය බිඳ වැටුණු රටක බලය හොබ­වන්නේ අප­රා­ධ­ක­රු­වන් බවත් අව­ධා­ර­ණය කළ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා, නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය තහ­වුරු වූ රටක් ගොඩ­නැ­ඟීම වෙනු­වෙන් වත්මන් රජය කැප වී සිටින බවත් සඳ­හන් කළේය.

අපි විඳි දුක් අපේ දරු­වන්ට හිමි නොවන රටක් ගොඩ­නැ­ඟීම වත්මන් රජයේ අර­මුණ බව ද ජනා­ධි­ප­ති­ව­රයා කීය.

විෂ මත්ද්‍රව්‍ය උව­දුර තුරන් කරන වැඩ­පි­ළි­වෙ­ළෙහි දී ඉවත බලා සිටී­මට කිසි­ව­කුට යුක්තිසහ­ගත අයි­ති­යක් නොමැති බව අව­ධා­ර­ණය කළ ජනා­ධි­ප­ති­ව­රයා එහිදී තමා පිළි­බඳ තමා සහ­තික වන බවත්, ආග­මික නාය­ක­යන්, දේශ­පා­ලන අධි­කා­රිය, රාජ්‍ය නිල­ධා­රීන්, ආර­ක්ෂක අංශ මෙන්ම මහ­ජ­න­තාව ලෙසද සියලු දෙනා වෙත ‘පැවරී ඇති වග­කීම් ඉටු කිරී­මට එක් වෙමුයි’ද ආරා­ධනා කළේය.

ජාතික ව්‍යස­න­යක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උව­දුර මුලි­නු­පුටා දැමීම වෙනු­වෙන් ජාතික මට්ටමේ දේශ­පා­ලන නාය­ක­ත්වය, කාර්ය­ක්ෂම තීරණ ගැනීමේ යන්ත්‍ර­ණ­යක් මෙන්ම පුළුල් මහ­ජන සහ­භා­ගි­ත්ව­යක් සහි­තව ‘රටම එකට’ ජාතික මෙහෙ­යුම ක්‍රියා­ත්මක වේ. එම වැඩ­ස­ට­හන යටතේ පුළුල් ප්‍රචා­රණ ක්‍රියා­ව­ලි­යක් මඟින් සමා­ජය මෙම උව­දුර සම්බ­න්ධ­යෙන් දැනු­වත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවා­රම හා බැඳුණු ජාලය බිඳ දැමීම, පුන­රු­ත්ථා­පන අවස්ථා බල­ගැ­න්වීම, භාවි­ත­යෙන් ඉවත් වීමට කැමැති අය සඳහා අව­ස්ථාව ලබා දීම සිදු කෙරේ.

මලෛ­ගම් ප්‍රජාව ඇතුළු මෙරට සියලු ජන­තාව මුහුණ දී සිටින ප්‍රධාන සමාජ ගැට­ලු­වක් ලෙස විෂ මත්ද්‍රව්‍ය උව­දුර හඳු­නා­ගෙන තිබෙන අතර, සියලු පාර්ශ්ව ඒකා­බද්ධ කර­ගත් පුළුල් දැනු­වත් කිරීමේ යන්ත්‍ර­ණ­යක් මඟින් එම ජන­තාව ඉන් මුදා­ගෙන ඔවුන් සමාජ සහ ආර්ථික වශ­යෙන් ඉහ­ළට ඔසවා තැබීමේ අර­මු­ණින් මෙම මධ්‍යම පළාත් වැඩ­ස­ට­හන සැල­සුම් කර තිබේ.

‘රටම එකට’ ජාතික මෙහෙ­යුම ආරම්භ කළ දා පටන් විෂ මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සම්බන්ධ 91, 000කට අධික සැක­ක­රු­වන් ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙන අතර, ඊට අදා­ළව සිය­ය­කට අධික නීති විරෝධි වත්කම් පිළි­බඳ විම­ර්ශන ආරම්භ කිරී­මත්, රැඳ­වුම් නියෝග මත සැක­ක­රු­වන් 1818ක් දීර්ඝ­කා­ලීන විම­ර්ශ­න­ව­ලට යටත් කිරී­මත් සිදු කර තිබේ. 1566 දෙනෙක් පමණ පුන­රු­ත්ථා­ප­නය සඳහා යොමු කර ඇත.

මෙම කෙටි කාලය තුළ ශ්‍රී ලංකා පොලී­සිය ලබා දුන් සක්‍රිය දාය­ක­ත්වය අග­ය­මින්, නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ රාජ­කා­රියේ නිරත පොලිස් නිල­ධා­රීන් 62 දෙනකු ඇග­යී­මට ලක් කිරී­මද මෙහි දී ජනා­ධි­ප­ති­ව­රයා අතින් සිදු කෙරිණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා-

“මෙහි සිටින අපි සියලු දෙනාම විවිධ වග­කී­ම්ව­ලට උර දෙන පිරි­සක්. අපි කවර වෘත්ති­යක නිරත වුවද, අපි සියලු දෙනාට මේ රට පිළි­බඳ අපේ­ක්ෂා­වක් තිබෙ­නවා, දරු­වන්ගේ අනා­ග­තය පිළි­බඳ බලා­පො­රො­ත්තු­වක් තිබෙ­නවා. අපේ රට මේ තිබෙන තත්ත්ව­යට වඩා හොඳ රටක් බවට පත් කළ යුතුයි. අපේ දරු­වන්ට මීට වඩා හොඳ අනා­ග­ත­යක් නිර්මා­ණය කර දිය යුතුයි. එය අප සියලු දෙනා වෙත පැවරී ඇති වග­කීම සහ අපේ­ක්ෂා­වයි. එම ගමන යෑමේ දී අපි ක්ෂේත්‍ර කිහි­ප­යක ජය­ග්‍ර­හණ අත්පත් කර­ගත යුතුයි. පළමු කොටම අපි ශක්ති­මත් සහ නොසෙ­ල්වෙන ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟිය යුතුයි.

අපේ රටට හිමිව තිබෙන්නේ මොන­වගේ ආර්ථි­ක­යක්ද කියා අපි දන්නවා. අපි අවු­රුදු 30ක් පුරා කතා කළා මේ යුද ව්‍යස­නය නිසා අපේ රටේ ආර්ථි­කය බිඳ වැටුණා කියලා. හැබැයි ආර්ථි­කය කඩා වැටුණේ යුද්ධය අව­සන් වී වසර 13කට පමණ පසු­වයි. එසේ නම් ඇත්ත හේතුව යුද්ධ­ය­ම ද? මම හිතන්නේ ඇත්ත හේතුව යුද්ධ­යම නොවෙයි. අපේ රට අනු­ග­ම­නය කර­මින් තිබූ ආර්ථික ප්‍රති­ප­ත්තිය සහ ඒ හා බැඳුණු වංචා දූෂණ මෙවැනි ආර්ථික අර්බු­ද­යක් ඇති­වී­මට හේතු­සා­ධක වුණා.

අපි බොහෝ විට උත්සාහ කළේ ආර්ථික අර්බු­දය විවිධ හේතු මත පැට­වී­මට. විටක යුද්ධය කිය­නවා, විටක ස්වාභා­වික ව්‍යසන කිය­නවා. විටක වසං­ගත කිය­නවා. ඒ නිසා අපි මේ ආර්ථික කඩා වැටී­මට විවිධ හේතු, වග­උ­ත්ත­ර­ක­රු­වන් කිරී­මට උත්සාහ කළ ඉති­හා­ස­යක් තිබුණා. හැබැයි ඕනෑම තත්ත්ව­ය­කට ඔරොත්තු දිය හැකි ආර්ථි­ක­යක් අපි දැන් ගොඩ­න­ඟ­නවා.

ඔබට මතක ඇති පහු­ගිය කාලයේ පාකි­ස්තා­නය සහ ඉන්දි­යාව අතර යම් යුද වාතා­ව­ර­ණ­යක් ඇති­වන විට අපේ රට බිඳ වැටෙයි කියා ඇතැ­මුන් කල්පනා කළා. ඊළ­ඟට මැද පෙර­දිග කලා­පයේ යුද උණු­සු­මක් එන විට අපේ රට කඩා වැටෙයි කියා කල්පනා කළා. එක්සත් ජන­ප­දය විසින් අපිට බදු අනු­පාත හඳුන්වා දෙන විට ආර්ථි­කය කඩා වැටෙයි කියා සිත­නවා. දිට්වා සුළි කුණා­ටුව ආ විට අපේ රටේ ආර්ථි­කය කඩා වැටෙයි කියා කල්පනා කළා. හැබැයි එම කිසිදු තත්ත්ව­යක් හමුවේ නොසෙ­ල්වෙන ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟීමේ අපේ­ක්ෂා­වෙන් අපි වැඩ කර­මින් සිටි­නවා.

විශේ­ෂ­යෙන් මේ දිට්වා කුණා­ටුව හමුවේ ආර්ථි­කය පසු­ප­සට යනවා වෙනු­වට ශක්ති­මත්ව ඉදි­රි­යට යෑමට හැකි­වන ලෙස ශක්ති­මත් මූල්‍ය සහ ආර්ථික ප්‍රති­ප­ත්ති­යක් අපි සකස් කර තිබුණා. දැනට ලෝක බැංකුව වාර්තා කර තිබෙන විදි­යට දිට්වා සුළි කුණා­ටු­වෙන් අපේ ආර්ථි­ක­යට සිදු වූ හානිය ඩොලර් බිලි­යන 4.1ක් පමණ වෙනවා. රුපි­යල් ට්‍රිලි­යන 1.2ක පමණ විනා­ශ­යක් සිදුව තිබෙන බව වාර්තා වී තිබෙ­නවා. එය අපේ රටේ දළ ජාතික නිෂ්පා­දි­ත­යෙන් 4%ක වගේ ප්‍රමා­ණ­යක්. අපිට හැකි­යාව ලැබුණා ආර්ථි­ක­යට විශාල බල­පෑ­මක් ඇති නොවන ආකා­ර­යෙන් එම ඇති වූ විනා­ශය දරා ගැනී­මට හැකි මට්ටමේ ආර්ථි­ක­යක් ගොඩ­නැ‍ඟී­මට. අපි රුපි­යල් කෝටි 50,000කට අධික මුද­ලක් දිට්වා සුළි කුණා­ටුව හමුවේ යළි ගොඩ­නැ‍ඟීම වෙනු­වෙන් වෙන්කර තිබෙ­නවා. ඒ වෙනු­වෙන් අපි සත­ය­ක්වත් ණයට ගත්තේ නැහැ. මුදල් මුද්‍ර­ණය කිරී­මක් කළේ නැහැ. අපේ භාණ්ඩා­ගාර ගිණුමේ තිබුණා කෝටි එක්ලක්ෂ විසි දහ­සක්. එයින් කෝටි 50,000ක් අපි මේ සඳහා වෙන් කළා. අපි තව දුර යා යුතුයි. අපි ශක්ති­මත් ආර්ථි­ක­යක් ගොඩ­නැ‍ඟීමේ දිශා­වට මේ රට ගොඩ­න­ඟ­මින් තිබෙ­නවා.

දෙව­නුව අපි අපේක්ෂා කර­නවා ඉතා යහ­පත් සහ ශක්ති­මත් විදෙස් ප්‍රති­ප­ත්ති­ය­කට අපේ රට අව­තීර්ණ විය යුතුයි කියලා. අපි දන්නවා ලෝකය මතු­පි­ටින් සාම­කාමී ලෙස පෙනු­ණට අභ්‍ය­න්ත­රයේ විවිධ ප්‍රති­වි­රෝ­ධතා සහ ගැටුම් සහිත ලෝක­යක් තිබෙ­නවා. වෙළෙ­ඳ­පොළ බෙදා ගැනීම සඳහා යුද්ධ තිබෙ­නවා. මේ ගැටු­ම්කාරී ලෝකයේ අපේ ස්ථාව­ර­ත්වය ආරක්ෂා කර ගනි­මින් කිසිදු පාර්ශ්ව­ය­කට අනු­ගත වන්නේ නැතිව ස්වාධීන විදෙස් ප්‍රති­ප­ත්ති­යක් වෙනු­වෙන් අපි වැඩ කර­මින් සිටි­නවා. එය අපේ රට ගොඩ­නැ‍ඟීමේ වැද­ගත් සාධ­ක­යක්.

ඒ වගේම රට ගොඩ­නැ‍ඟීම සඳහා අපිට ශක්ති­මත් රාජ්‍ය සේව­යක් අව­ශ්‍යයි. ඉතා දියුණු ශක්ති­මත් රාජ්‍ය සේව­යක් ඇති කිරීම වෙනු­වෙන් අපි උප­රි­ම­යෙන් උත්සාහ දර­මින් සිටි­නවා. ඩිජි­ට­ල්ක­ර­ණය, වාහන ඇතුළු අවශ්‍ය පහ­සු­කම් ලබා දීම සිදු කර­නවා. මේ සියල්ල ලබා දී කාර්ය­ක්ෂම රාජ්‍ය සේව­යක් ගොඩ­නැ­ඟිය යුතුයි. රාජ්‍ය සේවය ආක­ර්ෂ­ණීය ස්ථාන­යක් බවට පත් කළ යුතුයි. අපි රාජ්‍ය සේව­යට ඉහ­ළම වැටුප් වැඩි කිරී­මක් සිදු කළා. වැටුප් වැඩි­වීම සඳහා පම­ණක් රුපි­යල් කෝටි 33,000ක් අපි දර­නවා. රාජ්‍ය සේවය ආක­ර්ෂ­ණීය ස්ථාන­යක් බවට පත් කිරීම මෙන්ම රාජ්‍ය සේව­ක­යන්ට තෘප්ති­මත් ජීවි­ත­යක් ලබා දීමේ අර­මු­ණක් අපිට තිබෙ­නවා.

රාජ්‍ය යන්ත්‍ර­ණය අපේ රටේ පැවැත්මේ වැද­ගත් සාධ­ක­යක්. ඒ වගේම පොලී­සිය, ත්‍රිවිධ හමු­දාව රටේ පැවැත්මේ ප්‍රධාන සාධ­ක­යක්. මම දන්නවා ඔබේ දීම­නා­වන්හි ගැට­ලු­වක් තිබෙන බව. හමු­දාවේ අයගේ ආහාර දීමනා, පොලී­සියේ අයට අව­දා­නම් දීම­නාව, අපි මේ සියල්ල සමා­ලෝ­ච­නය කර­මින් තිබෙ­නවා. අපිට පොඩි කාල­යක් ලබා දෙන්න. 2027 වසරේ දී 03 වැනි වැටුප් වර්ධ­කය සිදු කිරී­මෙන් පසුව අපේ අය-වැය ලේඛ­නය පිළි­බඳ අව­ධා­නය යොමු කර­මින් ඉතිරි දීමනා ලබා දීම පිළි­බඳ සැල­කි­ලි­මත් වෙනවා.

ඒ වගේම අපේ රටේ නීතියේ විධා­නයේ ආධි­පත්‍යය තහ­වුරු කළ යුතුයි. පුර­වැ­සි­යාට අසා­ධා­ර­ණ­යක් වූ විට පුර­වැ­සියා යන්නේ පොලී­සි­යට. ඔහු තමන්ට වූ අසා­ධා­ර­ණ­යට සාධා­ර­ණ­යක් අපේක්ෂා කර­නවා. ඔහු යන්නේ අධි­ක­ර­ණ­යට. අයු­ක්ති­යට, යුක්තිය අපේක්ෂා කර­නවා. අයු­ක්ති­යට යුක්තිය ලබා දීමට නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය තහ­වුරු කළ යුතුයි. එය අපේ රට ගොඩ­නැ‍ඟීම සඳහා යන ගමනේ දී ඉතා වැද­ගත්. ඒ නිසා අපි නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය තහ­වුරු කර­නවා. අපේ රටේ ජන­තාව තුළ මේ පිළි­බඳ සැක­යක් ඇති වෙලා තිබෙ­නවා. සාමා­න්‍ය­යෙන් කිය­ම­නක් තිබෙ­නවා නීතිය මකුළු දැලක් වගේ කියලා. පොඩි සත්තු හසු­වන, ලොකු සත්තු බේරෙන නීති­යක් තිබුණා. මෙය තමයි පොදු­ජ­නයා තුළ නීතිය පිළි­බඳ තිබූ විශ්වා­සය. හැබැයි රටක් හදන්න නම් නීතිය ඉදි­රියේ සිය­ලු­දෙනා සමා­නයි යන්නට අපි පණ දිය යුතුයි.

ඔහු හොබ­වන බලය, ඔහු සතු ධනය විසින් නීති­යෙන් ගැල­විය හැකියි කියන විශ්වාස ගොඩ­නැ‍ඟෙන්න හොඳ නැහැ. ඒ වගේම ධන­යෙන්, බල­යෙන් තොරව නීතිය ඉටු වනවා කියන විශ්වා­සය ජන­තාව තුළ ඇති විය යුතුයි. ඇතැම් අය හිතා­ගෙන හිටියා නීති­යට තමන් ළඟට එන්න බැහැ. තමන් ගාව තිබෙන රශ්මි කද­ම්භය නීතිය ප්‍රති­ක්ෂේප කර­නවා කියලා. එහෙම රට­කට ඉදි­රි­යට යන්න බැහැ. හැම කෙනාම නීති­යට යටත් විය යුතුයි. නීතිය පිළි­බඳ බියක් ඇති විය යුතුයි. ඒ නිසා මේ 2026 වසර නීතිය ඉදි­රියේ සැවොම සමා­නයි යන්නට පණ දෙන වසර බවට පත් කර­නවා. සියලු දෙනා නීති­යට යටත් විය යුතුයි. නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය බිඳ වැටුණු කිසිදු රටක් සංව­ර්ධ­නය අත්පත් කර­ගෙන නැහැ. නීතිය බිඳ වැටුණු තැනක බලය හොබ­වන්නේ අප­රා­ධ­ක­රු­වන්. නීතිය නැති තැන වැජ­ඹෙන්නේ අප­රා­ධ­ක­රු­වන්. සෑම කළු රට­කම පද­නම වන්නේ නීතියේ බිඳ වැටීම. මෙයයි සත්‍යය. ඒ නිසා නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය තහ­වුරු වූ රාජ්‍ය­යක් බවට අපේ රට පත් කිරී­මට අපි සියලු දෙනා එක්ව කට­යුතු කරමු.

අපි විඳපු දුක් අපේ දරු­වන්ට හිමි නොවන රටක් අපිට අව­ශ්‍යයි. ඒ වගේම අපි මුහුණ දුන් අර්බු­ද­ව­ලට අපේ දරු­වන් මුහුණ නොදෙන රටක් අපිට අව­ශ්‍යයි. අපි ගොඩ­න­ඟන්නේ එවන් රටක්. එහිදී අපි හමුවේ තිබෙන ප්‍රධාන තර්ජ­නය වන්නේ විෂ මත්ද්‍ර­ව්‍යයි. මා පෙර සඳ­හන් කළ සියලු කරුණු ජය­ග්‍ර­හ­ණය කළත් වැඩක් නැහැ අපේ දරු­වන් මත්ද්‍ර­ව්‍ය­වල ගොදුරු බවට පත්ව තිබෙ­නවා නම්. අද විෂ මත්ද්‍රව්‍ය ගම් නිය­ම්ගම් පුරා පැතිර තිබෙ­නවා. මත්ද්‍ර­ව්‍ය­ව­ලට ගොදු­රු­වීමේ දී එහි පළමු වින්දි­තයා බවට පත්වන්නේ ඊට ගොදුරු වූ දරුවා. ඒ වගේම අම්මා, තාත්තා, පවුලේ සාමා­ජි­ක­යන් එහි වින්දි­ත­යන් බවට පත් වෙනවා. මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූවන් සිටින පවු­ලක් සිය­ලු­දෙනා ප්‍රති­ක්ෂේප කරන පවු­ලක් බවට පත් වෙනවා. ඒ මවු­පි­යන්ගේ බලා­පො­රොත්තු මුළු­ම­නින්ම බිඳ වැටෙ­නවා. අනා­ර­ක්ෂි­ත­භා­ව­යක් ඇති වෙනවා. මුළු සමා­ජ­යම මේ ව්‍යස­න­යට ලක් වෙනවා.

එසේ නම් කිසිදු දරු­වෙක් මත්ද්‍රව්‍ය ව්‍යස­නයේ ගොදු­රක් බවට පත් නොවන රටක් අපි ගොඩ­නැ­ඟිය යුතුයි. කිසිදු මවක්, පවු­ලක් වින්දි­ත­යන් බවට පත් නොවන සමා­ජ­යක් අපි හදන්න ඕන. ඒ පිළි­බඳ අප තුළ විශාල අපේ­ක්ෂා­වක් තිබෙ­නවා. ඒ ව්‍යස­නය එතැ­නින් නතර වෙන්නේ නැහැ. අප­රාධ හිස ඔස­ව­නවා. පසු­ගිය කාලයේ තැන තැන සිදු වූ වෙඩි තැබීම් පසු­පස තිබෙන්නේ මේ මත්ද්‍රව්‍ය වෙළෙ­ඳ­පොළ බෙදා ගැනීම සඳහා තිබෙන තර­ග­යයි.

නීති­වි­රෝධි සන්නන්ධ කණ්ඩා­යම් බිහි වීමට මේ මත්ද්‍රව්‍ය ඉව­හල් වී තිබෙ­නවා. ඒ නිසා අපේ දරු­වන්, නීති­වි­රෝධි අවි සමඟ ගනු­දෙනු කරන තැනට පත්ව තිබෙ­නවා. ඒ විත­රක් නොවෙයි ඔවුන් විසින් විශාල ධන­යක් එක් රැස් කර ගන්නවා. මේ ජාලය සමඟ විශාල මුදල් ප්‍රමා­ණ­යක් සංස­ර­ණය වෙනවා. සම­හර දුර්වල රාජ්‍ය නිල­ධා­රීන් ඒ මුද­ල්ව­ලින් බිලි බා ගන්නවා. අව­සා­නයේ මේ මුදල් බලය විසින් රාජ්‍ය යන්ත්‍ර­ණය බිඳ දම­නවා. එතැ­නින් නතර වෙන්නේ නැහැ. ඔවුන් දේශ­පා­ල­න­යට එන්න පටන් ගන්නවා. ඇතැම් ප්‍රාදේ­ශීය සභා සභා­ප­ති­වරු අප­රා­ධ­ව­ලට සම්බන්ධ වූ අය. සම­හර අය එම මුදල් විය­දම් කර පක්ෂ හද­නවා. දේශ­පා­ලන බලය මත්ද්‍රව්‍ය හා බැඳුණු ජාල අත­රට යෑමේ අන­තු­ර­කට පත්ව තිබුණා. මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ට ආර­ක්ෂාව, රැක­ව­ර­ණය ලබා දුන් දේශ­පා­ල­න­ඥ­යන් සිටි­නවා. තව ටික කාල­යක් යන විට මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වාම දේශ­පා­ල­න­ඥ­යන් වෙනවා. ඒ හා සම්බ­න්ධව ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රුන් ගණ­නා­වක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. මෙය මෙලෙස වර්ධ­නය වීමට ඉඩ දෙන්න බැහැ.

ජනා­ධි­ප­ති­ව­රයා ලෙස මටත්, ඔබ සිය­ලු­දෙ­නා­ටත් පුළු­වන්, වුණ දෙයක් වුණාවේ කියා ඉවත බලා සිටී­මට. හැබැයි මේ ව්‍යස­නය ජාතික වශ­යෙන් ගමක්, ගෙයක්, පවු­ලක් අත්නො­හැර පැති­රීමේ අන­තු­ර­කට මුහුණ දී තිබෙ­නවා. එසේ නම් අපි කිසි­ව­කුට යුක්ති­ස­හ­ගත අයි­ති­යක් නැහැ ඉවත බලා සිටී­මට. ඒ නිසා මෙය පරා­ජය කිරී­මට අපි සියලු දෙනාගේ මැදි­හ­ත්වී­මට අව­ශ්‍යයි. මට මා පිළි­බඳ සහ­තික විය හැකියි. ඒ වගේම අපේ හාමු­දු­රු­වන් වහන්සේ, අපේ ආණ්ඩුව මේ පිළි­බඳ ඒක­ම­තික, අත්නො­හ­රින තීර­ණ­යක සිටි­නවා. අපේ රාජ්‍ය නිල­ධා­රීන්, පොලි­ස්ප­ති­තුමා, ආර­ක්ෂක අංශ අපි සිය­ලු­දෙනා එක් තැන­කට පැමිණ තිබෙ­නවා. මේ සඳහා මහ­ජන සහාය අව­ශ්‍යයි. ගමේ කුඩු විකු­ණන කෙනා තව­දු­ර­ටත් සමා­ජයේ සැඟවී නැහැ. හැබැයි සමා­ජය බිය වද්ද­මින් තිබෙ­නවා, ඒ වගේම අපේ බන්ධ­නා­ගාර නිල­ධා­රීන් බිය­ට­පත් කර තිබෙ­නවා. මේවා නතර කිරී­මට අපි සැල­සුම් සකස් කර තිබෙ­නවා. ඒ සඳහා මහ­ජන සහාය අව­ශ්‍යයි. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, මානව හිමි­කම්, ඒ සිය­ල්ලට අපි ගරු කර­නවා. ඒ සිය­ල්ලට වඩා ඉහ­ළින් ජන­තා­වගේ ජීවිත සුර­ක්ෂි­ත­භා­වය පිළි­බඳ අපි වග වෙනවා. ඒ නිසා අපි ඒ පිළි­බඳ ක්‍රියා­මාර්ග ගැනී­මට සූදා­නම්. අපි රට පුරා ග්‍රාම නිල­ධාරි මට්ට­මින් මහ­ජන ආර­ක්ෂක කමිටු ගොඩ­නඟා තිබෙ­නවා. ගමේ අපි සිය­ලු­දෙනා එක් වෙමු. මීට ගොදුරු වී සිටින්නේ අපේ දරු­වන්. මේ කිසි­වෙක් ඉප­දෙන විට මත්ද්‍ර­ව්‍ය­ව­ලට ගොදු­රු­වීමේ වුව­ම­නා­වෙන් ඉප­දුණු අය නොවෙයි. ඔවුන් මත්ද්‍ර­ව්‍ය­ව­ලට ගොදු­රු­වීම වළක්වා ගැනී­මට අපේ සමා­ජය අස­මත් වුණා. ඒ නිසා අප සිය­ලු­දෙ­නාට අත්හැ­රිය නොහැකි වග­කී­මක් තිබෙ­නවා. එසේ නම් අපි සිය­ලු­දෙනා එකි­නෙ­කාගේ වග­කීම් ඉටු කිරී­මට සූදා­නම් විය යුතුයි. දේශ­පා­ලන අධි­කා­රිය ලෙස අපි, පොලී­සිය, ත්‍රිවිධ හමු­දාව සිය­ලු­දෙනා එකම බල­යක් ලෙස මීට එරෙ­හිව නැඟී සිටිය යුතුයි. මේ සඳහා වසර කිහි­ප­යක අත්නො­හ­රින දිගු­කා­ලීන වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යයි. මත්ද්‍රව්‍ය පැමි­ණෙන මාර්ග අපි අඩ­පණ කළ යුතුයි. ඒ සඳහා නාවික හමු­දාව විශාල කැප­වී­ම­කින් කට­යුතු කර­නවා. ඒ වගේම ගොඩ­බිමේ බෙදා හරින ජාලය අඩ­පණ කර­නවා. ඒ සඳහා වන වැට­ලීම් කර­මින් අපේ පොලී­සිය විශාල කාර්ය­භා­ර­යක් ඉටු කර­මින් සිටි­නවා. අද මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් බොහෝ දෙනෙක් විදේ­ශ­ග­තව සිටි­නවා. ඔවුන්ගේ යම් ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­ව­ටත් ගෙන තිබෙ­නවා. ඒ වගේම මත් ද්‍රව්‍ය­ව­ලට ගොදුරු වූ අය බේරා­ගත යුතුයි. ඒ වෙනු­වෙන් රට පුරා පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථාන ගොඩ­නැ‍ඟීම වෙනු­වෙන් මෙවර අය – වැයෙන් මුදල් වෙන් කළා. අපේ මහා සංඝ­ර­ත්නය සහ ආග­මික නාය­ක­යන් එක්ව ජාතික සභා­වක් ස්ථාපිත කර තිබෙ­නවා. මත්ද්‍ර­ව්‍ය­ව­ලට ගොදුරු වු කෙනාට යළි තමන්ට හිමි ජීවි­තය ලබා දීමට අපි උත්සාහ කළ යුතුයි. මේ වෙලාවේ ජීව­ත්වන අපිට, මේ ව්‍යස­නය පිළි­බඳ අව­බෝ­ධ­යක් ඇති අපිට මේ ව්‍යස­න­යෙන් අපේ දරු­වන් මුදා ගත යුතුයි කියා කල්පනා කරන අපි පෙරට අවේ නැත්නම් කවුද පෙරට එන්නේ. මෙය සිදු­කළ යුත්තේ අපියි. ඒ නිසා අපි එකට එක්ව මේ ව්‍යස­නය පරා­ජය කරමු.

මෙහිදී විශාල කාර්ය­භා­ර­යක් අපේ හාමු­දු­රු­වන් වහ­න්සේට සහ ආග­මික නාය­ක­යන්ට පැවරී තිබෙන බව මම විශ්වාස කර­නවා. ඔබ වහ­න්සේගේ දේශ­නා­වල විනාඩි 05-10ක් මේ ව්‍යස­නය පිළි­බඳ සමා­ජ­යට පණි­වි­ඩ­යක් ගියොත් අපිට විශාල සමාජ මත­යක් ගොඩ­නැ­ඟිය හැකියි. පාසල් ගුරු­වරු, විදු­හ­ල්ප­ති­වරු සමා­ජ­යට පණි­වි­ඩ­යක් ගෙන ගියොත් මෙය සමාජ මත­යක් ලෙස ගොඩ­නැ­ඟිය හැකියි. ඒ නිසා මෙය ආණ්ඩුවේ, පොලී­සියේ, හමු­දාවේ පම­ණක් කාර්ය­භා­ර­යක් නොව පොදු සමා­ජයේ කාර්ය­භා­ර­යක් බවට පත් විය යුතුයි. අපිට මේ ව්‍යස­නය පරා­ජය කළ හැකියි. ඒ සඳහා අපි සිය­ලු­දෙනා එක්විය යුතුයි. ඒ නිසා ඉවත බලා නොසිට මේ ව්‍යස­නය පරා­ජය කිරී­මට මැදි­හත් වෙමු කියා මම සිය­ලු­දෙ­නා­ගෙන් ඉල්ලා සිටි­නවා.

අපි මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ට තිබූ දේශ­පා­ලන රැක­ව­ර­ණය මුළු­ම­නින්ම ඉවත් කළ ආණ්ඩු­වක්. අපි පොලී­සි­යට, හමු­දා­වට මේ කාර්යය කිරීම සඳහා පූර්ණ නිද­හස ලබා දී තිබෙ­නවා. අපිට බේර­ගන්න කුඩු ව්‍යාපා­රි­කයෝ, ජාවා­ර­ම්ක­රුවෝ නැහැ. ඒ නිසා ඔබේ වෘත්තීය ගෞර­වය, තන­තුරේ වග­කීම සහ ඔබගේ රාජ­කා­රිය ඉටු කිරී­මට මැදි­හ­ත්වන්න. ඒ සඳහා අවශ්‍ය ආර­ක්ෂාව සහ නිද­හස අපි ලබා දෙන්නම්.”

වෛද්‍ය ආරු­මු­ගම් ජෙය­රා­ජන් මහතා මෙම අව­ස්ථාවේ ආරා­ධිත දේශ­නය සිදු කළ අතර නුව­ර­එ­ළිය දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු සභා­පති මංජුල සුර­වී­ර­ආ­රච්චි මහතා ද අද­හස් දැක්වීය.

මධ්‍යම පළාතේ මහා සංඝ­ර­ත්නය සහ ආග­මික නාය­ක­යන් ද, මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල, අධ්‍යා­පන සහ උසස් අධ්‍යා­පන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙ­වි­රත්න, මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය සරත් අභ­ය­කෝන්, පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.වී.රාධ­ක්‍රි­ෂ්ණන්, කලෙ­යි­චෙල්වි මහත්ම මහ­ත්මීන් ඇතුළු මහ­ජන නියෝ­ජි­ත­යන් ද, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් විශ්‍රා­මික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයි­ය­කොන්තා, මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් රවී සෙන­වි­රත්න, පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහ­ත්වරු ඇතුළු ආර­ක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රී­හුද, දිස්ත්‍රික් ලේකම් ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්න­කෝන් මහ­ත්මිය ඇතුළු රාජ්‍ය නිල­ධා­රීහු සහ ප්‍රදේ­ශයේ ජන­තාව විශාල පිරි­සක් ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න/නුව­ර­එ­ළිය සමූහ – ආර්.එෆ්.එම්. සුහෙල්/නෝර්වුඩ් සමූහ – රංජිත් රාජ­පක්ෂ