රාජගිරියේ පුද්ගලයෙකුට සවලකින් පහර දුන් තරුණයන් පිරිස පෙබරවාරි 16 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

රාජගිරිය කලපළුවාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් අනතුරුව ත්‍රිරෝද රථ රියැදුරකුට සවලකින් පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් පිරිස හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය නියෝග කර තිබෙනවා.

වැලිකඩ පොලිසිය මඟින් මෙම සැකකරුවන් හයදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

මාස කිහිපයකට ඉහත දී මෙම සැකකරුවෙකුගේ හිතවතෙක් යතුරුපැදියක නැඟී රාජගිරිය ප්‍රදේශය හරහා යමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත්, සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි සැකකරුවන් පිරිස ත්‍රිරෝද රථ රියැදුරුට පහර දී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවත්, පහර කෑමට ලක් වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බවත් පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන්නා.

පහර කෑමට ලක් වූ ත්‍රිරෝද රථ රියැදුරා වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.