බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට රුපියල් ලක්ෂ 162 කට අධික මුදලක් අනුමත කිරීම තුළින් එම වරදට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එදින ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස යන දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එසේම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නගත බ්‍රිතාන්‍ය සංචාරයේදී ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අය රාජ්‍ය මුදල් අවභාවිත කර තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.








