හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ගම්පහ මහාධිකරණයේදී අද (11) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහිදී, ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාරගේ තීන්දුව වූයේ, විත්තිකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීමටයි.
එහෙත්, සෙසු විනිසුරුවරුන් වූ රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල විසින් විත්තිකරුවන් 41 දෙනාගෙන් 16 දෙනකු වැරදිකරුවන් කරමින් තීන්දුව ලබා දුන් අතර, එම වැරදිකරුවන් වූ 16 දෙනාගෙන් 12 දෙනකුට මරණ දඬුවම නියම කර, ඉතිරි 4 දෙනාට මාස 06 ක සිර දඬුවමක් පනවා එය වසර 05 කට අත්හිටුවා තිබෙනවා.
ඊට අමතරව, ඝාතනයට ලක් වූ හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ වෙනුවෙන් සහ පොලිස් නිලධාරියා වෙනුවෙන් රු. 50,000 බැගින් වන්දි ගෙවන ලෙස අත්හිටවූ සිර දඬුවම් ලැබූ වරදකරුවන්ට නියම කෙරුණා.
<span style=’color:#000000′><span>මෙම නඩුවේ චෝදනා එල්ල වී සිටි සැකකරුවන් 23 දෙනෙක් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද මෙහිදී නියෝග කර තිබෙනවා.</span></span>
අරගලය පැවැති සමයේ, ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන යන අය මන්ත්‍රීවරයාගේ මෝටර් රථයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගී වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටි අතරවාරයේදී, නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් විසින් ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කර තිබුණා.
පසුව මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ එවක අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන, ඒ අතරින් 41 දෙනකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබුණා.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර, ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලැබුවා.
අධි චෝදනා 14 ක් යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන් 41 දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර, එම විත්තිකරුවන්ගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරදී මිය ගොස් තිබුණු බවත්, 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මඟහැර පලා ගොස් ඇති බවත්, ඔවුන් නොමැතිව නඩුව විභාග කරනු ලැබූ බවයි සඳහන් වන්නේ.








