වෘත්තීමය රාජ්‍ය සේවයේ බිඳවැටීම ගැන චන්ද්‍රිකා දැඩි කණස්සල්ලෙන්

ශ්‍රී ලංකාවේ වෘත්තීමය රාජ්‍ය සේවය පිරිහීම, තෝරාගත් පුද්ගලයන්ට පමණක් යුක්තිය ඉටුකිරීම සහ දේශපාලනික අරමුණු මත පදනම් වූ පාලනය පිළිබඳව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය කණස්සල්ල පළකරනවා.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ, සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරයක් සඳහා අරමුදල් අනුමත කිරීමේ සිද්ධියකට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳව මෙහිදී ඇය විශේෂයෙන් සඳහන් කර තිබෙනවා.

එහිදී තමා සමන් ඒකනායකව පෞද්ගලිකව හඳුනන බවත්, ඔහු ඉතා අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක රාජ්‍ය නිලධාරියෙකු බවත් ඇය සඳහන් කර ඇති අතර, යුක්තිය පසිඳලීම තෝරාගත් පිරිසකට පමණක් සීමා වීම රටේ පාලන පද්ධතියට බරපතළ තර්ජනයක් බව අවධාරණය කරනවා.

එමෙන්ම, වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්, සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් ඒ සඳහා පත් කරමින් සිටින බවටද හිටපු ජනාධිපතිනිය චෝදනා කරනවා.

“වෘත්තීය මට්ටමේ, කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ඉදිරියට යා නොහැකියි. දේශපාලන නායකයන්ට පරිපාලන පළපුරුද්දක් නොතිබුණද, ඔවුන්ට නොසැලෙන අවංකභාවයක් තිබිය යුතු අතර රට පාලනය කිරීමේදී වෘත්තීය මට්ටමේ නිලධාරීන් මත විශ්වාසය තැබිය යුතුයි.” ‍යනුවෙන් ඇය එහි සඳහන් කර තිබෙනවා.