නාගොඩදී පළාත් පාලන අපේක්ෂකයෙකු ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට 04ක් අත්අඩංගුවට

කළුතර මහ නගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරග කළ බන්දුල ප්‍රසන්න නැමැත්තා නාගොඩ ප්‍රදේශයේදී ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තුන්දෙනෙකු සහ සැකකාරියක කළුතර දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලංගොඩ ප්‍රදේශයේදී ඊයේ සිද්ධියට අදාළව අවුරුදු 24ක් වයසැති නාගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුවයි අනෙක් තුන්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පළමුව අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය වසරේ ජනවාරි 31 වැනිදා නාගොඩ රෝහල තුළදී බන්ධනාගාර රැදවියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සහ දෙහිවල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු පසුගිය ජනවාරි 9 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වනවා.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අවුරුදු 23 සහ 24 යන වයස්වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය අවුරුදු 23ක් වන බොලොස්සගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය සඳහන් කළේ.