ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් බිලියන 08 ඉක්මවූ විදේශීය ප්‍රේෂණ පසුගිය වසරේදී මෙරටට ලැබුණු බව කම්කරු අමාත්‍ය, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
ඇස්තමේන්තු කළ ආණ්ඩුවේ බදු ආදායමද 110%ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවූ බවත් මෙමඟින් ආණ්ඩුවේ ආර්ථික ස්ථාවරත්වය පෙන්නුම් කරන බවත් ඒ මහතා කීය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය 08 වැනිදා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
ඇස්තමේන්තු කරන ලද බදු ආදායමට ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ආණ්ඩුවක් ළඟාවී නොමැති නමුත් වත්මන් ආණ්ඩුවට එම සීමාවද ඉක්මවා යාමට පසුගිය වසරේදී හැකිවූ බවත් මේ තුළින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
විදේශීය සංචිත වර්ධනය කර ගැනීම, විදේශ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, සංචාරක කර්මාන්තයේ දියුණුවක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද සැලකිය යුතු ජයග්‍රහණ පසුගිය වසරේදී අත්පත් කර ගැනීමට හැකිවූ බව ද ඒ මහතා කීවේය.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් යළි ගොඩඒම සඳහා රජය ගනු ලැබූ තීරණ හා ඒ සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කළ ආකාරය ජාත්‍යන්තර ඇගයුමට ලක්ව ඇතැයිද හෙතෙම පැවසුවේය.
අසේල කුරුළුවංශ, මහනුවර සමූහ – ප්‍රදීප් රාජපක්ෂ








