යෝෂි­තට ඩේසි ආච්චිට එරෙහි නඩුව අප්‍රේල් 24දා

මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුත් යෝෂිත රාජ­ප­ක්ෂට එරෙ­හිව පවරා ඇති නඩුවේ විත්ති­කා­රි­යක වන ඩේසි ෆොරස්ට් නමැ­ත්තිය නඩු විභා­ග­ය­කට මුහුණ දීමට සුදුසු මාන­සික තත්ත්ව­යක සිටින්නේ ද යන්න පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය වාර්තාව ලැබී නොමැති බැවින් නඩුව අප්‍රේල් 24දා කැඳ­වී­මට නියම විය.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු රශ්මි සිංග­ප්පුලි මහතා හමුවේ ඊයේ (09) නඩුව කැඳවූ අව­ස්ථාවේ ඇප මත මුදා­හැර සිටින විත්ති­ක­රු­වන් අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටි­යහ.

2009 වසරේ මාර්තු මස 31දා සහ 2013 වසරේ දෙසැ­ම්බර් 12දා අතර කාලය තුළදී කොළ­ඹදී සහ තංග­ල්ලේදී රුපි­යල් පන්කෝටි අනූ­හ­ය­ලක්ෂ හැත්තෑ­න­ව­ද­හස් නව­සී­යක (රු.596,79,900) මුද­ලක් උප­යා­ගත් ආකා­රය හෙළි කළ නොහැ­කි­වීමේ චෝද­නාව යටතේ විත්ති­ක­රු­වන්ට එරෙ­හිව මෙම නඩුව ගොනු­කර ඇත.

දණ්ඩ නීති සංග්‍ර­හයේ 113අ සමඟ කිය­විය යුතු 2011 අංක 40 දරන පන­තින් සංශෝ­ධිත 2006 අංක 5 දරන මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනතේ 35 වැනි වග­න්තිය යටතේ නඩු පැව­රීම සිදු­කර තිබේ.

2025 වසරේ නොවැ­ම්බර් 6දා අධි­ක­ර­ණය දුන් නියෝ­ග­යක් අනුව විත්ති­කා­රිය දෙසැ­ම්බර් 11දා කොළඹ ප්‍රධාන වෛද්‍ය­ව­රයා හමුවේ වෛද්‍ය පරී­ක්ෂ­ණ­ය­කට යොමු කරන ලදී. එම පරී­ක්ෂ­ණ­යෙන් පසුව සීටී ස්කෑන් පරී­ක්ෂ­ණ­යක් කළ යුතු බව තීර­ණය කර ඇති අතර එය පෞද්ග­ලික රෝහ­ලක දී කර ඇත. එහි වාර්තාව ස්නායු රෝග විශේ­ෂඥ දර්ශන සිරි­සේන මහ­තාට ඉදි­රි­පත් කර ඔහුගේ වාර්තා­වෙන් පසු අව­සාන වාර්තාව සකස් කිරී­මට නිය­මිත බව රජයේ අධි­නී­ති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම නඩුව ගොනු­කර මේ වන විට වසර 8කට ආසන්න කාල­යක් ගතව තිබේ. විත්ති­ක­රු­වන්ට සමාන චෝදනා යටතේ කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ තවත් නඩු­වක් පවරා ඇති අතර එම නඩුව ලබන 25දා කැඳ­වී­මට නිය­මි­තය.

අනිල් ද සිල්වා හා සම්පත් මෙන්ඩිස් යන ජනා­ධි­පති නීතිඥ මහ­ත්වරු විත්තිය වෙනු­වෙන් පෙනී සිටි අතර රජයේ අධි­නී­තිඥ ඔස්වල්ඩ් ජය­සිංහ මහතා පැමි­ණිල්ල මෙහෙ­ය­විය.

චන්දන ජය­වීර