රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එම්. ප්‍රේමසිරි, නවරත්න බණ්ඩා, බී.එම්. දීපාල් ගුණසේකර සහ සමන්සිරි හේරත් යන අය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ, යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.








