ඊයේ ජින්තුපිටියේ සිදුවූ වෙඩි තැබීම ගැන පොලිස් කණ්ඩායම් 03 කින් විමර්ශන

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වූ අතර, එය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.

ජින්තුපිටිය ‘125 වත්ත’ නම් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී තිබුණු අතර, ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පැවසෙන්නේ.

මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 44 හැවිරිදි කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

එසේම, මෙහිදී 04 හැවිරිදි පිරිමි දරුවෙකුට හා 03 හැවිරිදි ගැහැණු දරුවෙකුට ද එම වෙඩි තැබීමෙන් තුවාල සිදුවී ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ බවත්, දරුවන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියා.