සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 125 සිට 130 දක්වාත්, කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 132 සිට රුපියල් 140 දක්වා ඉහළ නැංවීමටත් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් පිළිවෙළින් රුපියල් 120ක්, රුපියල් 125ක් සහ රුපියල් 132ක් ලෙස මිල දී ගනු ලැබූ බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගා කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් එම වී වර්ග මිල දී ගැනීම සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ නැංවීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් පත්කරනු ලැබ ඇති මිල කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති බවද ඇමැතිවරයා පැවසීය.
එම නිර්දේශය මත පදනම්ව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නියමිත ප්‍රමිතියෙන් යුත්, නාඩු වී කිලෝග්‍රෑම් 1ක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 120 ලෙස තවදුරටත් පවත්වාගෙනයෑමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී ලාල්කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැතිවරයා කියා සිටියේය.
වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ දැම්මද ඉන් සහල් මිල ඉහළයෑමක් සිදු නොවන බවද ඇමැතිවරයා පැවසීය.
සහල් මිල ගැන සැලකිලිමත් වෙමින් වී මිලදී ගැනීම ඉහළ දැමූ බවත් පසුගිය කාලයේ යෙදවුම් සහ ශ්‍රමයේ මිල ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා කීවේය.
නුවන් කොඩිකාර








