ජපන් භාෂාව උගන්වන මුවාවෙන් ජපානයේ රියදුරු රැකියා ලබාදෙන බව පවසා ‘මුහුණුපොත’ (Facebook) ඔස්සේ දැන්වීම් පළකරමින් මහා පරිමාණ ලේඛන වංචාවක නිරත වූ ආයතනයක් වැටලීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබෙනවා.
බොරලැස්ගමුව, මහරගම පාරේ පවත්වාගෙන ගිය ‘සමුරායි ජැපනීස් ලැන්වේජ් සෙන්ටර්’ (Samurai Japanese Language Center) නම් මෙම ආයතනය වැටලූ අවස්ථාවේදී එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අදාළ ආයතනය පරීක්ෂා කිරීමේදී වංචනික ලෙස සකස් කරන ලද නිල මුද්‍රා සහ ලේඛන රැසක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
එහිදී, රජයේ පාසල් විදුහල්පතිවරුන්ගේ, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ දේශීය ආදායම් කොමසාරිස්වරයෙකුගේ නමින් සකස් කළ ව්‍යාජ නිල මුද්‍රා, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන නමින් සකස් කළ ව්‍යාජ මුද්‍රා රැසක් නිලධාරීන්ගේ භාරයට ගත් බවයි සඳහන්.
එමෙන්ම, වංචනික ලෙස සකස් කරන ලද අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස. (උසස් පෙළ) සහතික පත්‍ර සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන්ට පමණක් නිකුත් කරන ශිෂ්‍ය කාර්ය වාර්තා අඩංගු රජයේ මුද්‍රණ පොත් දෙකක්ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මෙම ආයතනය මගින් ජපන් භාෂාව උගන්වන අතරතුර, අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් නොමැති පුද්ගලයින් සඳහා මෙලෙස කූට ලේඛන සකසා ජපානයට යැවීමට කටයුතු කරන බව අනාවරණය වී ඇති බවත්, සැකකාර කාන්තාවන්ගේ ඥාතියෙකු ජපානයේ සේවය කරන අතර, ඔහුගේ මාර්ගයෙන් මෙම රැකියා අවස්ථා සපයන බව පවසා ඔවුන් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
මෙහිදී, කූට ලේඛන සකස් කිරීම, භාවිත කිරීම සහ ළඟ තබාගැනීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් දෙදෙනා බොරලැස්ගමුව පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් ඊයේ (09) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන ජනවාරි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.








