අද කාලගුණ නිවේදනය

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද (10) දින පෙ.ව. 04.00 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100 ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබුණු බවත්, එය වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින්, අද දහවල් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින අතර, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි දැක්වෙන්නේ.

උතුරු පළාතේත්, පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පැවසෙනවා.

උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත්, වයඹ පළාතේ ද, මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.