වසරක් ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණයේ වාර්තාව වෙනස් කරමින් ඊයේ (29) පෙරවරුවේ 23,33,796 වැනි සංචාරකයා ලෙස මෙරටට පැමිණි දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වූ ෆීලික්ස් බෙස්ලින් පෙරේරා මහතා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහත්වරුන් විසින් ‘සිල්ක් රූට්’ මගී පර්යන්තයේ දී පිළිගැනීමෙන් අනතුරුව එම අවස්ථාව සමරමින් කේක් ගෙඩියක් කැපූ අයුරු.
වසරක් ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාෙව් වාර්තාව වෙනස් කරමින් ඊයේ (29) පෙරවරුවේ 2,333,797 වැනි සංචාරකයා මෙරටට පැමිණියේය. මෙතෙක් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබුණේ 2018 වසරේදීය. එම ඉතිහාසගත වාර්තාව වෙනස් කරමින් ඊයේ (29) වන විට මෙරටට පැමිණි සංචාරකයන් ගණන 2,333,796ක් ලෙස වාර්තා වූ අතර මේ අනුව 2018 පිහිටුවන ලද වැඩිම සංචාරක සංඛ්‍යාවේ වාර්තාව 2025 වසරේ දී අලුත් විය.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි 2,333,797 වැනි සංචාරකයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළ ‘සිල්ක් රූට්’ මගී පර්යන්තයේ සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් ද පැවැත්විය. මෙසේ පැමිණි සංචාරකයා වූයේ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වූ ෆීලික්ස් බෙස්ලින් පෙරේරා මහතාය.
ඔහු සමඟ ඔහුගේ බිරිය වූ විශ්‍රාමික පාසල් ගුරුවරියක වූ රීනා ෆර්ඩිනැන්ඩස් මහත්මිය සහ ඔවුන්ගේ අවිවාහක දියණිය වූ, වෛද්‍ය ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙණෙවිය ද පැමිණ සිටියහ.
ඒ අනුව මෙම 2025 වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බවට පත්වේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ඇතුළු මෙරට සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ විශාල පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ ‘සිල්ක් රූට්’ මගී පර්යන්තයට මේ සංචාරකයා පිළිගැනීමට පැමිණ සිටියහ.
කටුනායක – ටී.කේ.ජී. කපිල








