බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිවරිය කලීඩා සියා අභාවප්‍රාප්ත වේ.
මියයන විට ඇය 80 වැනි වියේ පසුවිය.
බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය නොවැම්බර් මස 23වැනිදා රෝහල්ගත කළ කලීඩා සියා, දෙසැම්බර් මස 11වැනිදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් පසුවුණි.
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා සියා එරට පළමු කාන්තා අගමැතිවරිය වේ. “අපේ ප්‍රියතම නායිකාව තවදුරටත් අප සමඟ නැත. ඇය අද උදෑසන 6 ට අප හැර ගියාය,” සියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) ෆේස්බුක් හි නිවේදනය කර තිබුණි.
සඳුදා රාත්‍රියේ වෛද්‍යවරු පවසා තිබුණේ සියාගේ තත්වය “අතිශයින්ම අසාධ්‍ය” බවයි. ඇයට ශ්වසනාධාර යන්ත්‍ර සවි කර තිබුණද, ඇගේ වයස සහ සමස්ත දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එකවර ප්‍රතිකාර කිහිපයක් ලබා දීමට නොහැකි වූ බව ඔවුහු පැවසූහ.
වසර 20 කට පසු රටේ පැවති පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් පසු 1991 වසරේ දී කලීඩා සියා, බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත්විය.








