හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නඩු පැවරීම කෙරෙහි නීතිපති දෙපාර්තමේන්තුව හා පොලීසිය අතර පැවති සාකච්ඡාවකදී අවධානය යොමුව ඇත.
රජයේ මුදල් අවභාවිත කරමින් සිය බිරියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීමේ චෝදනාවට යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහටත්, වැලිගම ඩබ්ලිව්. 15 හෝටලයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටත් මෙසේ නඩු පැවරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය 22 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේදී මේ සාකච්ඡාව පවත්වා තිබේ. රජයේ මුදල් අවභාවිත කරමින් සිය බිරියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීමේ චෝදනාවට යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ එයට අනුබල දීමේ චෝදනාව යටතේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සේවය කළ සමන් ඒකනායක ඇතුළු පිරිසක් විත්තිකරුවන් කර මේ නඩුව ගොනු කිරීමට නියමිතය. අදාළ නඩුව දිනපතා විභාග කළ හැකි පරිදි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පැවරිය යුතු බවට මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා යෝජනා කර තිබේ.
මේ නඩුව හිටපු විධායක ජනාධිපතිවරයකු සම්බන්ධයෙන් ගොනු කෙරෙන නඩුවක් වන බැවින් හා අපරාධ චෝදනා යටතේ හිටපු ජනාධිපතිවරයකුට විරුද්ධව නඩු පැවරෙන පළමු අවස්ථාව මෙය බැවින් සුවිශේෂ කටයුත්තක් ලෙස සලකා චෝදනා විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටිය යුතු යැයි ඔහු යෝජනා කර ඇත.
කොටුව මහේස්ත්‍රාත් උසාවිය ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව පැවැත්වෙන මූලික නඩු විභාගයට නීතිපතිවරයා නියෝජනය කරමින් සහභාගි වන්නේ දිලීප පීරිස් මහතාය. එම නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා කැඳවීමට නියමිත අතර, එහිදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඔහු අධිකරණයට දැනුම් දෙනු ඇත.
නීතිපතිවරයා සමඟ පසුගිය 22 වැනිදා පැවති හමුවේදී විමර්ශන ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇත. එම ගොනුව අධ්‍යයනය කිරීමෙන් පසු නඩු පවරන ආකාරය පිළිබඳ තීරණයක් ගන්නා බව නීතිපතිවරයා පවසා තිබේ. ඒ පිළිබඳ තීරණ හා අනෙකුත් විමර්ශනවල ප්‍රගතිය සලකා බැලීමට දෙපාර්ශ්ව මසක් ඇතුළත යළි හමුවීමට නියමිතය.
නීතිපති – පොලිස්පති හමුවේදී පසුගිය කාලයේ මහජන අවධානයට ලක්වූ සිද්ධි 65කට ආසන්න ප්‍රමාණයක වර්තමාන ප්‍රගතිය සලකා බලා ඇත. මේ වන විට විභාග වෙමින් තිබෙන නඩු, ඉදිරියේදී ගොනු කිරීමට නියමිත නඩු සහ පසුගිය කාලයේ ඉල්ලා අස්කර ගෙන ඇති නඩු පිළිබඳ එහිදී සමාලෝචනයක් කර ඇත. එම නඩු පවත්වාගෙන යන ආකාරය පිළිබඳ ක්‍රමවේදයක් සාකච්ඡාව තිබේ.
පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයට ලක්වූ නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම හෝ නඩු පැවරීම සිදු නොවුණු සිදුවීම් 6කට අදාළ ලිපිගොනු සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමුව ඇත. එම සිද්ධීන් අතරින් ප්‍රමාණවත් සාක්ෂි පවතින සිද්ධි සම්බන්ධයෙන් යළි නඩු පැවරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර ඇත. ඒ කෙරෙහි නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.
එමෙන්ම වැලිගම ඩබ්ලිව් 15 හෝටලයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් ද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පැවරීමට නියමිත නඩුවද ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පැවරීමට යෝජනාව තිබේ. ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් 15දාට පෙර අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුහාන් අබේවික්‍රම මහතාට උපදෙස් දී තිබේ.
නීතිපතිවරයාට අමතරව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා යන මහත්වරු මෙම සාකච්ඡාවට වරින් වර සහභාගිව ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ එම නිලධාරීන් තමන් විසින් මෙහයවනු ලබන නඩුවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර, මූල්‍ය අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට යන මහත්වරු සහ පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහභාගිව තිබේ.








