බස් ආසන වෙන් කරවා ගෙන යාමට නොහැකි වූ මගීන්ට දැනුම් දීමක්

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ගමන් වාර 1,500 ක් පමණ අවලංගු වී ඇති බව එම මණ්ඩලය පවසනවා.

ඒ අනුව, මෙම බස් රථවල ගමන් කිරීම සඳහා කලින් ආසන වෙන් කරගත් මගීන් 15,000 ක් පමණ සිටින බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආසන වෙන් කිරීමේ සේවාව සඳහන් කරන්නේ.

ඔවුන් වෙන් කරගත් එම ආසන වෙනුවෙන් තමන්ට කැමති වෙනත් දිනයක ආසනයක් ලබාගැනීමේ හැකියාව පවතින බවත්, ඒ වෙනුවෙන් 1315 අංකය හෝ 070 3110 506 යන අංකය අමතා වෙනත් පහසු දිනයක් ලබා ගන්නා ලෙසත්, ඒ සඳහා කිසිදු ගාස්තු අය කිරීමක් සිදු නොවන බවත් ඔවුන් සඳහන් කළා.

නුවරඑළිය, නාවලපිටිය, 87 මාර්ගයේ යාපනය, වලපනේ, මුතූර්, බිබිල යන ගමනාන්ත වෙත බස් රථ ධාවනය නොවන බවත්, සෙසු ගමනාන්ත වෙත බස් ධාවනය යළි ආරම්භ කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.