ශ්‍රී ලංකාවට වූ ආපදාව ගැන පුටින් දුක් වෙයි

‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ ගංවතුර සහ නායයෑම් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

පුටින් පවසා ඇත්තේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරටේ සිදුවූ විශාල ජීවිත හානි සහ මහා පරිමාණ හානි පිළිබඳව තමා හදවතින්ම ශෝකය පළකරන බවයි.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ ආපදාවලින් මියගිය අයට තමාගේ කනගාටුව පළකරන බවත් ආපදාවට ලක්වූවන් කඩිනමින් යථාතත්වයට පත්වීමට ප්‍රාර්ථනා කරන බවයි.

දිට්වා කුණාටුව හේතුවෙන් බලධාරීන් විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට (DMC) අනුව, මෙම ව්‍යසනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 350කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර ලක්ෂ 10කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.

ආසන්න වශයෙන් පුද්ගලයින් 124,000ක් පමණ ඉවත් කර ඇති අතර, ඔවුන් තාවකාලික කඳවුරු 919ක නවාතැන් ගෙන සිටිනවා.

දැනට වාර්තා වන පරිදි මෙරට සිටින රුසියානු ජාතිකයින් වෙත කිසිදු හානියක් වාර්තා වී නැහැ.