ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින ආනයනය කරන ලද බී.වයි.ඩී. වාහන 625ක් සමාගම් බැඳුම්කර යටතේ මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරමින් පවතින බව ඊට අදාළ පාර්ශ්වයන් විසින් අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
මෙම කරුණට අදාළව අභියාචනාධිකරණය විසින් මීට පෙර කරන ලද මඟපෙන්වීම අනුව මෙම කටයුතු සිදුවන බවද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් අධිකරණයට දන්වා තිබෙනවා.
රේගුව විසින් රඳවාගනු ලැබ සිටින සිය වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් සී .ජී .සමාගම ඉදිරිපත් කළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම් සිදු කළා.
එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය හා අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් හමුවේ ඊයේ (17) කැඳවනු ලැබූවා.
තම සේවාදායකයා විසින් ගොනු කළ මෙම රිට් පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත් වීමට පාර්වශවයන් දෙකක් අවසර ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වය දක්වන බවද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ජෝන් කීල්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් එහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
එහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වනවිට රඳවාගෙන තිබෙන වාහන සම්බන්ධයෙන් සිදු කරන තාක්ෂණි විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය තොරතුරු සහ සහය ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයෙන් ඉල්ලීමක් ද කළා.
අතරමැදි පෙත්සම්කරුවන් ලෙස මැදහත් වීමට කර ඇති ඉල්ලීමට අවසර දෙනවාද? නැත්ද? යන්න සම්බන්ධ නියෝගය ලබන 28 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (17දා) දින නියම කළා.








