හිටපු ජනපති රනිල්ට උපදේශකවරු 39යි

හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති ධුරය දැරූ මාස 22ක කාලයේ ඔහු උප­දේ­ශ­ක­වරු 39 දෙනෙක්, සම්බ­න්ධී­ක­රණ ලේක­ම්වරු 23ක් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩ­ලය 1199ක් සිටි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (15) ප්‍රකාශ කළේය.

එම උප‍දේ­ශ­ක­යන් අතර සිටි සාගර රත්නා­යක රුපි­යල් ලක්ෂ 75ක්ද, අකිල විරාජ් කාරි­ය­ව­සම් රුපි­යල් ලක්ෂ 40ක්ද, ආශු මාර­සිංහ රුපි­යල් ලක්ෂ 34ක්ද, රෝසි සේනා­නා­යක රුපි­යල් ලක්ෂ 07ක්ද වශ­යෙන් මේ කාලයේ දීමනා ලබා­ගෙන ඇති බව ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේය.

වඩි­වේල් සුරේෂ්, මනූෂ නානා­ය­ක්කාර, දිනේෂ් දොඩං­ගොඩ ද හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ උප‍දේ­ශ­ක­යන් ලෙස කට­යුතු කර ඇති බවද ඇමැ­ති­ව­රයා කීය.

වත්මන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට සිටින්නේ උප­දේ­ශ­ක­වරු පස් දෙනෙක්, සම්බ­න්ධී­ක­රණ ලේක­ම්වරු එක් අයෙක් පම­ණක් බව ද ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය. ආචාර්ය හාන්ස් විජේ­රත්න, මහා­චාර්ය ගෝමික, උඩු­ගම, දුමින්ද හුලං­ග­මුව, ජේ.එම්. විජේ­බ­ණ්ඩාර , චන්දන සූරිය බණ්ඩාර මේ උප­දේ­ශ­ක­යන් 05 දෙනා කිසිම දීම­නා­වක් ලබා නොගෙන ස්වේච්ඡා­වෙන් සේව‍යේ නිර­තව සිටින බවත් ඔවුන් ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­යන් බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා 2022 – 2024 කාලයේ විදේශ සංචාර 24ක නිර­තව ඇති අතර එම සංචාර සඳහා රුපි­යල් මිලි­යන 1,007.346ක් වැය­කර ඇතැයි ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

ඇමැති නලින්ද ජය­තිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේ 2026 වසර සඳහා වන අය-වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට එක්වෙ­මිනි.

ජනා­ධි­පති, අග­මැති කාර්යා­ලය, උප­රි­මා­ධි­ක­ර­ණ­වල විනි­ශ්ච­ය­කා­ර­වරු, අමාත්‍ය මණ්ඩල කාර්යා­ලය, රාජ්‍ය සේවා කොමි­ෂන් සභා කාර්යා­ලය, අධි­ක­රණ සේවා කොමි­ෂන් සභාව, ජාතික පොලිස් කොමි­ෂන් සභාව, පරි­පා­ලන අභි­යා­චන විනි­ශ්චය අධි­කා­රිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව, මුදල් කොමි­ෂන් සභා කාර්යා­ලය ඇතුළු ආය­තන 25ක වැය ශීර්ෂ සම්බ­න්ධ­යෙන් මේ විවා­දය පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා, හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සිදු­කර ඇති මේ සංචා­ර­ව­ලට 2022 දී රුපි­යල් මිලි­යන 129.31ක් , 2023 දී රුපි­යල් මිලි­යන 577.9ක් ,සහ 2024 දී රුපි­යල් මිලි­යන 300ක් වශ­යෙන් වැය කර ඇති බව ද පැව­සීය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊට වෙනස්ව, 2024 දෙසැ­ම්බර් සිට 2025 සැප්තැ­ම්බර් දක්වා විදේශ සංචාර අටක් සිදු කර ඇති අතර, එම සංචා­ර­ව­ලට විය­දම් කර ඇත්තේ ඉතා අවම වශ­යෙන් බව ද හෙතෙම පැව­සීය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මේ සංචාර ඉන්දි­යාව, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, විය­ට්නා­මය, ජර්ම­නිය, මාල­දි­ව­යින සහ එක්සත් ජන­පද – ජපාන සංචා­රය වශ­යෙන් සිදු­කර ඇති අතර ඒ සඳහා මුළු විය­දම ලෙස රුපි­යල් මිලි­යන 14.9ක් වැය වී ඇති බව ඇමැති නලින්ද ජය­තිස්ස පැව­සීය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා 2024 වසරේ දෙසැ­ම්බ­ර්ව­ලදී කළ ඉන්දි­යානු සංචා­ර­යට රුපි­යල් මිලි­යන 1.2 ක්, 2025 සිදු­කළ චීන සංචා­රය සඳහා රුපි­යල් මිලි­යන 0.8 ක්,එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සංචා­රය සඳහා මිලි­යන 0.5 ක්, විය­ට්නාම සංචා­රය සඳහා මිලි­යන 1.9 ක්, ජර්ම­නියේ සිදු­කළ සංචා­රය සඳහා රුපි­යල් මිලි­යන 04ක්, මාල­දි­ව­යිනේ සිදු­කළ සංචා­රය සඳහා මිලි­යන 0.7ක්, එක්සත් ජාතීන්ගේ සැසිය ඇම­තී­මට හා ඒ සමඟ කළ ජපාන සංචා­ර­යට මිලි­යන 5.5 ක් වශ­යෙන් වැය කර­මින් සංචාර අට­ටම රුපි­යල් මිලි­යන 15.9 ක් වැය කර ඇතැයි ද ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සිදු­කළ සංචාර හා හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සිදු­කළ විදෙස් සංචාර සැස­ඳිය යුතු අතර, ඒ සා විශාල මුද­ලක් වැය කර­මින් රනිල් වික්‍ර­ම­සිංහ මහතා රටට ගෙනාවේ මොන­වා­දැයි ප්‍රශ්න කළ­යුතු බව ද හෙතෙම පැව­සීය.

අද වන­විට එවැනි අන­වශ්‍ය සියලු විය­දම් කපා හරි­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අඩු­වෙන් විය­දම් කර­මින්, යහ­පත් මූල්‍ය කළ­ම­නා­ක­ර­ණ­යක් පවත්වා ගනි­මින් යහ­පත් ආණ්ඩු­ක­ර­ණ­යක් රටට ලබාදී ඇති බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

ජනා­ධි­පති වැය ශීර්ෂය ගත් කල හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ 2024 වසරේ මුල් මාස නවයේ පුන­රා­ව­ර්තන විය­දම් ලෙස විය­දම රුපි­යල් මිලි­යන 715 ක් වැය කර ඇති අතර වත්මන් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මේ වසරේ මුල් මාස නවයේ විය­දම රුපි­යල් මිලි­යන 279ක් බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.ඒ අනුව රුපි­යල් මිලි­යන 435කින් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විය­දම අඩු කර ඇති බව ද ඇමැ­ති­ව­රයා කීය. බලයේ සිටි ජනා­ධි­ප­ති­ව­රුන්ට විවිධ මට්ට­මින් උප­දේ­ශ­ක­වරු ඇතුළු නිල­ධා­රීන් සිටි අතර ආස­න්නම ජනා­ධි­ප­ති­ව­රයා ලෙස හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට උප­දේ­ශ­ක­වරු 39ක් සිටි බවත් ඒ සියලු දෙනා නඩත්තු කළේ රජ­යෙන් බව ද සඳ­හන් කළේය.

එම උප­දේ­ශ­ක­ව­රුන්ට අම­ත­රව ජනා­ධි­පති සම්බ­න්ධී­ක­රණ ලේක­ම්ව­රුන් 23 දෙනකු ද සිටි බව සිහි­පත් කළේය.වත්මන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට උප­දේ­ශ­ක­යන් පස්දෙ­නකු සිටින අතර, ඒ සියලු දෙනා රට ගැන සිතා ස්වේච්ඡා­වෙන් කට­යුතු කරන අතර වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා ආද­ර්ශ­යෙන්ම යහ­පත් ආණ්ඩු­ක­ර­ණ­යක් පෙන්වා දී ඇතැයි ද පැව­සීය.

හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ වක­වා­නු­වේදී ජනා­ධි­පති උප­දේ­ශ­ක­ව­රුන්ගේ වැටුප්, කාර්ය මණ්ඩ­ලය එදා සහ අද සංස­න්ද­නා­ත්ම­කව ඉදි­රි­පත් කර­මින් අද­හස් පළ­ක­ළේය.

එහිදී වැඩි­දු­ර­ටත් නලින්ද ජය­තිස්ස මහතා මෙසේ ද පැව­සීය.

Òපාර්ලි­මේන්තු කාර්ය මණ්ඩ­ල­යට වෙන­දාට වඩා වැඩ පැවරී තිබුණා. මාස දෙක­කට වැඩි කාල­යක් මේ අය-වැය වෙනු­වෙන් මහන්සි වුණා. 850ක් පමණ වන කාර්ය මණ්ඩ­ලය පාර්ලි­මේ­න්තුවේ වෘත්තී­ය­භා­වය ආරක්ෂා කිරී­මට ගන්නා පිය­වර අගය කර­නවා. මේ කාර්ය මණ්ඩ­ල­යට අම­ත­රව තවත් 450ක් පමණ කාර්ය මණ්ඩ­ලය ඉන්නවා. අපි පසු­ගිය කාලයේ වැඩි පනත් ප්‍රමා­ණ­යක් සම්මත කර නැහැ. 2015 වසරේ පනත් 15ක් වෙනවා. 2025 වසරේ දී පනත් 22ක්. ආණ්ඩු­වක් කාර්ය භාර­ගෙන අලුත් සැල­සු­මක් යටතේ කට­යුතු කර­ගෙන යනවා. 2000න් මෙහා ඕනෑම ආණ්ඩු­වක් සම්මත කර­ගත් පනත් අත­රින් වැඩිම පනත් සංඛ්‍යා­වක් සම්මත කර තිබෙන්නේ අපේ ආණ්ඩු­වයි. 2024 වසරේ දී පනත් විශාල ප්‍රමා­ණ­යක් සම්මත කර­ගෙන තිබෙන බව කිය­නවා. 2015 වස­රත් එක්ක නොවෙයි සංස­න්ද­නය කළේ. ස්වාධීන කොමි­ෂන් සභා නිසි­යා­කා­රව කට­යුතු කර­නවා. නමුත් එම කොමි­ෂන් සභා වැඩි­දි­යුණු කර ගැනීම සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කරන්නේ නැහැ. ස්වාධීන කොමි­ෂන් සභා එක්තරා අව­ධි­යක දී සියලු දේශ­පා­ලන කණ්ඩා­යම් විසින් කට­යුතු කළා. දේශ­පා­ල­නය වෙනස් වන­විට එම කොමි­ෂන් සභා­වල කාර්යය ද වැඩි­දි­යුණු විය­යුතු වෙනවා. මේ අව­ස්ථාවේ අපට පුහුණු කාර්ය මණ්ඩ­ලය බඳවා ගැනීමේ අව­ශ්‍ය­තා­වක් තිබෙ­නවා. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය වෙනු­වෙන් පුහුණු කළා නම් ඒ අමා­ත්‍යාං­ශ­ය­ටම බඳවා ගත­යුතු වෙනවා. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ 2021 මාර්තු මාසයේ සිට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රුන් පත්කර ගැනීමේ ගැටලු තිබෙ­නවා. නමුත් වැඩ­බ­ලන අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් දාන්න සිදුව තිබෙ­නවා. 2021 සිට එක තන­තු­රක් පුර­ප්පාඩු වූ අව­ස්ථාවේ සිට මේ වන­විට තන­තුරු 8ක් පත්කර ගැනී­මට හැකි­යා­වක් නැහැ. ඒ පත්කි­රී­මට උත්සාහ කරන හැම අව­ස්ථා­ව­කම කුමන හෝ බාධා තිබෙ­නවා.

ජනා­ධි­පති කාර්යාල වැය ශීර්ෂය සම්බ­න්ධ­යෙන් ද යමක් කිව යුතුයි. අපි බල­යට පත්වු­ණාම, පත්ක­ර­ගත් උප­දේ­ශ­ක­ව­රුන් ගැන කිය­නවා මට ඇහුණා. ඉස්ස­ර­නම් උප­දේ­ශ­ක­වරු වැඩියි. ඒ අයගේ වැටුප් වැඩියි ආදී වශ­යෙන් කිව්වේ විප­ක්ෂය. නමුත් අද විප­ක්ෂය කියන්නේ බඳ­වා­ගන්න. ඒ අයට වැටුප් ගෙවන්න කියලා. ආර­ක්ෂ­කයෝ වැඩි­යෙන් ගන්න. මොකද ඒ අය කළේ ඒ විදි­හට.

බලයේ සිටි ජනා­ධි­ප­ති­ව­රුන්ට විවිධ මට්ට­මින් උප­දේ­ශ­ක­වරු ඇතුළු නිල­ධා­රීන් සිටියා. අපි බලමු ආස­න්නම ජනා­ධි­ප­ති­ව­රයා සම්බ­න්ධ­යෙන්.

රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­ර­යාට උප­දේ­ශ­ක­වරු 39ක් හිටියා. ඒ අය ඔක්කොම නඩත්තු කළේ රජ­යෙන්. ඒ අයගේ නම් මීට කලින් ඉදි­රි­පත් කළා. අපේ ජනා­ධි­ප­ති­ව­රයා උප­දේ­ශ­ක­වරු 05 දෙනෙක් පත් කර­ගෙන තිබෙ­නවා. ආචාර්ය හාන්ස් විජේ­රත්න, මහා­චාර්ය ගෝමික උඩු­ගම, දුමින්ද හුලං­ග­මුව, ජේ. එම්. විජේ­බ­ණ්ඩාර , චන්දන සූරිය බණ්ඩාර යන පස් දෙනා. මතක තියා­ගන්න මේ අය වැඩ කරන්නේ ස්වේච්ඡා­වෙන්. ගන්න පුළු­වන් දීමනා සියල්ල අත්හැර රට වෙනු­වෙන් ස්වේච්ඡා­වෙන් වැඩ කර­නවා. ඒ අය ක්ෂේත්‍රයේ දක්ෂයෝ. ප්‍රවී­ණයෝ. ලක්ෂ ගණන් දීමනා, වැටුප් ගන්න පුළු­වන් අය ඇවිත් රට වෙනු­වෙන් ස්වේච්ඡා­වෙන් වැඩ කර­නවා.

මේ අයගේ උප­දෙස් අරන් අපේ ජනා­ධි­ප­ති­ව­රයා වැඩ කර­නවා.ඒ අයගේ සේවාව කවුරු හරි මීට කලින් ගන්න උත්සාහ කළා­නම් හොඳයි. ඒ අයගේ නෙවෙයි වරද. ඒ අයගේ උප­දෙස් අරන් වැඩ නොක­රපු එකයි වරද.

ඕගො­ල්ලන්ගේ උප­දේ­ශ­ක­ව­රුන් ගැන මම කිය­න්නම්. ආශු මාර­සිංහ, රෝසි සේනා­නා­යක, අකිල විරාජ් කාරි­ය­ව­සම්, දිනේෂ් දොඩං­ගොඩ. දැනුත් එකතු වෙන්න රෑට රෑට කතා කර­නවා. වඩි­වේල් සුරේෂ් තව එක්කෙ­නෙක්. විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් ලෙස හිටියේ. අපි එතුමා සෞඛ්‍ය අමා­ත්‍යාංශ ලේකම් කළා. එතුමා ගන්න ඕනෑ එතැ­නට තමයි.

පහු­ගිය කාලයේ රාජ්‍ය ඇමැ­ති­ව­රුත් හිටියා. වෙනස කැබි­නට් එකට යන්න බැරි එක විත­රයි. අපි කිසිම රාජ්‍ය ඇමැ­ති­ව­ර­යෙක් පත් කරන්නේ නැහැ. පවුලේ අය හෝ ඥාතීන් බඳ­වා­ගෙන නැහැ. දළ වශ­යෙන් රාජ්‍ය ඇමැ­ති­ව­ර­යෙක් නඩ­ත්තුව වෙනු­වෙන් මාසි­කව ලක්ෂ පහ­කට වැඩි මුද­ලක් ඕගො­ල්ලන්ගේ කාලයේ දැරුවා. ඇමැ­ති­ටයි, කාර්ය මණ්ඩ­ල­ය­ටයි වාහන හයක් දුන්නා. ලීටර් තුන්දා­හ­සක ඉන්ධන දුන්නා. අපි ඒ සියල්ල නතර කරලා තිබෙන්නේ. දුර­ක­තන තුනක් දීලා තිබුණා. දැන් අපි එක­ක්වත් දෙන්නේ නැහැ. නිවා­ස­ව­ලට දුර­ක­තන තුන හත­රක් දීලා තිබුණා. ඒ එක­ක්වත් දැන් දෙන්නේ නැහැ. කැබි­නට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැ­ති­ව­රුන් නඩ­ත්තු­වට අන­වශ්‍ය විය­ද­මක් දැරුවා. ඒ අන­වශ්‍ය විය­දම් විශාල ප්‍රමා­ණ­යක් අපි නතර කර තිබෙ­නවා. 2024 දී හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ උප­දේ­ශ­ක­යන් සංඛ්‍යා­වට අම­ත­රව තවත් ජනා­ධි­පති සම්බ­න්ධී­ක­රණ ලේක­ම්ව­රුන් 23ක් හිටියා.

අපේ ජනා­ධි­පති උප­දේ­ශ­ක­වරු පස්දෙනා වැඩ­ක­රන්නේ ස්වේච්ඡා­වෙන්. ඒ වගේම එක් සම්බ­න්ධී­ක­රණ ලේක­ම්ව­ර­යෙක් ඉන්නේ. කාර්ය මණ්ඩල නිල­ධා­රීන් ඒ කාලයේ 250ක් හිටියා. අපි ඒක 165ට අඩු කළා. මාණ්ඩ­ලික නොවන නිල­ධා­රීන් 963ක් හිටියා. දැන් 633යි. ඒ අනුව 1252ක් හිටපු ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ කාර්ය මණ්ඩ­ලය දැන් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විය­දම් අඩු­කර 803 දක්වා හාර­සිය හත­ළිස් නව­ය­කින් අඩු­කළා.

2024 සැප්තැ­ම්බර් දක්වා මාස නව­යක කාලය ගත්තොත් මේ අයට වැටුප් හා දීමනා ලෙස රුපි­යල් මිලි­යන 104ක්. ඒක අපි රුපි­යල් මිලි­යන 79 දක්වා අඩු කර තිබෙ­නවා. ඒ කාලේ 1199ක් සමස්ත කාර්ය මණ්ඩ­ල­යක් හිටියා. ඒක අපි 754 ට අඩු­කළා..

හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ උප­දේ­ශ­ක­වරු ගැන කියන්න බැරි­වුණු ටික ආපහු කිය­න්නම්. අකිල විරාජ් කාරි­ය­ව­සම් මහ­තාට 2022 ජූනි සිට 2024 සැප්තැ­ම්බර් දක්වා වැටුප් ලෙස පම­ණක් විසි­පන් ලක්ෂ හැත්තෑ දහ­සක්. ඒ වගේම ඉන්ධන දීම­නාව ලෙස දහ­තුන් ලක්ෂ අනූ එක්ද­හ­සක්. වෙනත් දීමනා 51000 ක්.මුළු ගෙවීම් ලෙස හත­ළිස් ලක්ෂ දහ­තු­න්ද­හ­සක් අකිල විරාජ් කාරි­ය­ව­සම් මහ­තාට ගෙවා තිබෙ­නවා. ආශු මාර­සිංහ ඒ කාලයේ අරන් තිබෙ­නවා.තිස්හ­තර ලක්ෂ­යට අධික මුද­ලක්. උද්දික ප්‍රේම­රත්න හාර­ලක්ෂ විසි­ප­න්ද­හ­සක්. රෝසි සේනා­නා­යක හත්ලක්ෂ එක්ද­හ­සයි. සාගල රත්නා­යක හැත්තෑ­තුන් ලක්ෂ නව­ද­හස් එක­සිය පනස් පහක් අරන් තිබෙ­නවා. වඩි­වේල් සුරේෂ් , මනූෂ නානා­ය­ක්කාර, දිනේෂ් දොඩං­ගොඩ ඒගොල්ලො තමයි ජනා­ධි­පති උප­දේ­ශ­ක­වරු.

මේ තිබෙන්නේ ජනා­ධි­ප­ති­ව­රුන්ගේ මුල් මාස නවයේ විය­දම්. හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ 2024 වසරේ මුල් මාස නවයේ පුන­රා­ව­ර්තන විය­දම් ලෙස විය­දම රුපි­යල් මිලි­යන 715ක්. අපේ ජන­ප­තිගේ මුල් මාස නවයේ විය­දම මිලි­යන 279ක්. රුපි­යල් මිලි­යන 435කින් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විය­දම අඩු කර තිබෙ­නවා.ජනා­ධි­පති උප­දේ­ශක හා පෞද්ග­ලික කාර්ය මණ්ඩල විය­දම රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ මුල් මාස නවයේ රුපි­යල් මිලි­යන 403යි. අපේ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එය රුපි­යල් මිලි­යන 145 දක්වා අඩු කර­ගෙන තිබෙ­නවා. අඩු කර ගැනීම මිලි­යන 258ක්. කාර්ය මණ්ඩ­ල­යට පඩි නඩි රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ කාල­යේදී රුපි­යල් 255.8ක්.

අපේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ රුපි­යල් මිලි­යන අසූ­වයි. අඩු කර ගැනීම මිලි­යන 175ක්. ඉන්ධන විය­දම මුල් මාස නවයේ මිලි­යන 55ක්. අපේ ජනා­ධි­පති මිලි­යන 18.9යි. එක­තුව ගත්තොත් මුළු විය­දම මිලි­යන 857ක් රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ. ඒත් අපේ ජනා­ධි­ප­ති­තුමා ගත්තම මිලි­යන 364ක්. අඩු­වීම පම­ණක් මිලි­යන 493ක්.

ජනා­ධි­පති කාර්යා­ලයේ සාමාන්‍ය පරි­පා­ලන විය­දම් පිළි­බඳ වාර්තා­වත් තිබෙ­නවා. 2024 මුල් මාස නවයේ මුළු විය­දම මිලි­යන 1887ක්. අපි එය අඩු කර තිබෙ­නවා මිලි­යන 1324 දක්වා. ඒ වගේම පුන­රා­ව­ර්තන විය­දම් 2024 වසරේ මුල් මාස නවයේ මිලි­යන 1661ක්. මේ අවු­රුද්දේ මිලි­යන 1199යි. දේශීය, විදේ­ශීය ගමන් විය­දම් රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ මිලි­යන 11.9ක්. වත්මන් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මිලි­යන 3.6 ක්.ඉන්ධන විය­දම රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ මිලි­යන 263 ක් මුල් මාස නව­යට.දැන් මිලි­යන 140 යි. මේ ජනා­ධි­පති කාර්යා­ලයේ සම­ස්ත­යක් ලෙස මිලි­යන 1887 මිලි­යන 1324 දක්වා අඩු කර තිබෙ­නවා.

හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ට සල­කන එක. ඒකේ 2024 මුල් මාස නවයේ හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ට පුන­රා­ව­ර්තන විය­දම් ලෙස මිලි­යන 38.9ක්. ඒක මේ වසරේ මිලි­යන 24.2 දක්වා මාස නව­යෙන් අඩු කළා. ප්‍රාග්ධන විය­දම හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට 2024 මුල් මාස නවයේ මිලි­යන 27.9යි ඒක මිලි­යන 17 ට අඩු­කර තිබෙ­නවා. සම­ස්ත­යක් ලෙස 2024 වසරේ මුල් මාස නව­යට සාපේ­ක්ෂව හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්ට වෙන්කළ මිලි­යන 66.9 2025 මුල් මාස නව­යේදී මිලි­යන 42 දක්වා අඩු වෙනවා. මෙතැ­නින් පසුව ඒ විය­දම එන්නෙත් නැහැ. මොකද අපි ඒ වර­ප්‍ර­සාද ටික කප්පාදු කර තිබෙ­නවා.

විදෙස් සංචාර, රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගිය විදෙස් සංචාර, 2022දී සංචාර හත­රයි. සංචාර 4 ට 64 දෙනකු අරන් ගිහින් තිබෙ­නවා. සංචාර හතරේ විය­දම මිලි­යන 129.31ක්. 2023 විදෙස් සංචාර 16යි. ඒ සමඟ ගිය මුළු පිරිස 269ක්. විය­දම මිලි­යන 577 .9 ක්. 2024 දී විදෙස් සංචාර 05යි. ගිය පිරිස 115ක්.

රුපි­යල් මිලි­යන 300ක් වැය කර තිබෙ­නවා. ඔක්කොම ගත්තොත් එහෙම මේ සංචාර 24 ට 385ක් එක්ක ගිහින් තිබෙ­නවා. මිලි­යන 1007.346ක්. ඒ කියන්නේ රුපි­යල් බිලි­ය­න­යක් විය­දම් කර තිබෙ­නවා, හිටපු මාස 22ට. මේක සංස­න්ද­නය කළොත් එහෙම අපේ ජනා­ධි­ප­ති­ව­රයා 2024 දෙසැ­ම්බර් මාසයේ සිට 2025 සැප්තැ­ම්බර් දක්වා සංචාර අටක් ගියා.”

ස්වර්ණා විජේ­කෝන්,

මහින්ද අලු­ත්ගෙ­දර සහ

සන්ධ්‍යා කරු­ණා­රත්න