වත්මන් ආණ්ඩුව යන ගමන ගැන සතුටු වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
ආර්ථිකය සම්බන්ධව විශාල වෙනසක් දැකිය නොහැකි වුවත්, දූෂණයට එරෙහිව ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා වැඩ කටයුතු නිසාත්, දූෂිතයන් ආරක්ෂා නොකරන නිසාත් ආණ්ඩුව ගැන සතුටු වන බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.
21 වැනිදා විපක්ෂය පවත්වන රැළියට තමා කිසිසේත් සහභාගි නොවන බවද, විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ සමග තමා අවුරුදු 15 ක් සමීපව දේශපාලන කටයුතු සිදු කළ බවද, ඔවුන් ගැන තමාට අවබෝධයක් ඇති බවද, ඒ කිසි අයෙක් රටට යහපතක් සිදු නොකළ බවද ඔහු සඳහන් කළා.
රට ආපස්සට ඇද දැමීමට වගකිව යුතු පාර්ශ්ව විසින් 21 වැනිදා රැස්වීම සංවිධානය කර ඇති බවත්, ඔවුන් වසර 75 ක්ම රට ඉදිරියට යාමට නොදුන් බවත්, ඔවුන් දැන් පවසන දේවල් නිසා ‘ජනතාව ගොනාට ඇන්දොත්’ නැවත ජනතාවට හොඳක් සිදු වේ යැයි තමා නොසිතන බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙන්වා දෙන්නේ.
ඔවුන් දේශපාලනය සිදු කළේ ‘ඔවුන් වෙනුවෙන්’ බවද, මුදල් හා දේපළ ගොඩ ගසා ගැනීම හා සැප සම්පත් භුක්ති විඳීම පිළිබද දේශපාලනයක් ඔවුන්ට අවශ්‍ය බවද, නමුත් වර්තමාන රජය එම ස්ථාවරයේ නොමැති බවද ඔහු පවසා සිටියා.
තමා කෙදිනකවත් වර්තමාන ආණ්ඩුව හා එක් නොවන බවත්,. නමුත් තමා ආණ්ඩුවේ ගමනට ආශිර්වාද කරන බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.








