රින්ද – අඳගල වැල්ල මුහුදු ප්‍රදේශයෙන් රුපියල් කෝටි 349කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 330කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනාගේ දේපළ සහ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර බොරැල්ල ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ හිටපු කමාන්ඩෝ සෙබළෙකු ද වන බවයි පොලිසිය සඳහන් කළේ.
මොහු වසර 22ක් යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර ඇති අතර, වෙඩි වැදීමකින් සිදු වූ අනතුරකින් පසු සේවයෙන් ඉවත්වී ඇති බව විමර්ශන නිලධාරීන් පැවසුවා.
ඔහු සතුව බොරැල්ල ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසට අමතරව ඒ ආසන්නයේම ඉදි කෙරෙමින් පවතින සිව්මහල් නිවසක් ද වන අතර, එම නිවෙස් දෙක බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (14) පරීක්ෂාවට ලක් කර තිබුණා.
එමෙන්ම, සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමක තිබී රුපියල් කෝටියක මුදලක්ද විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති අතර, සැකකරුගේ බැංකු ගිණුම් ඉදිරියේදී පරීක්ෂා කිරීමට නියමිතයි.
පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු දැනට ප්‍රංශයේ සැඟව සිටින බවට සැලකෙන රූබන් නමැති මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මෙරට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධාන ගෝලයෙකු බවට සැක කෙරෙන බවයි.
මේ අතර, නීති විරෝධී වත්කම් උපයාගැනීමේ චෝදනාව මත කොළඹ 9 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33ක් වයසැති පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මොහු මත්පැන් ජාවාරම මගින් උපයාගත් මුදලින් මිලදී ගත් රුපියල් ලක්ෂ 250ක් වටිනා ඉඩමක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 07ක් දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.








