බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා ත්‍රෛනිකායම නියෝජනය වන පරිදි පාර්ශ්ව 31 කැඳවා බුද්ධ ශාසන සභාව පිහිටුවීම සිදු කළ බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවසීය.
බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීම සඳහා කැපවූ ස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂාවට සහ ශාසන විරෝධි කටයුතුවල නිරත ස්වාමීන් වහන්සේලා සම්බන්ධව රජය කටයුතු කරනුයේ ත්‍රෛනිකායික නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි බව ද ඇමැතිවරයා පැවසුවේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි පවතින නීතිරීති ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන්නේ යැයි ද ඇමැතිවරයා කීය.
මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට මහානායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් පරිදි ත්‍රෛනිකායම නියෝජනය වන ලෙස පාර්ශ්ව 31 කැඳවා බුද්ධ ශාසන සභාව පිහිටුවා ගත් බවත් යහපත් මඟපෙන්වීමක් එමඟින් ලැබෙන බව ද ඇමැතිවරයා පැවසුවේය.
1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 41, 42 වගන්ති සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගෙන ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි කටයුතු කරමින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙතින් සංශෝධන සකස් කර නීතිපති නිරීක්ෂණයට යොමුකර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර, සන්ධ්‍යා කරුණාරත්න








