පිරිවෙන් අධ්‍යාපන පනත කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස සංශෝධනය කළ යුතු බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) පැවසුවාය.
ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් නම් කරන ලද නියෝජිත විද්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළත් සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් වර්තමානයට ගැළපෙන පරිදි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහනට අනුකූලව සහ මුල් පනතේ සඳහන් විධිවිධාන හා නියෝගවලට හානියක් නොවන ආකාරයට පිරිවෙන් අධ්‍යාපන පනතට අවශ්‍ය සංශෝධන ඇතුළත් කෙටුම්පත් සකස් කරගෙන යන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.
පිරිවෙන් මණ්ඩලයේ උපදෙස් අනුව මෙම කමිටුව පත් කරන බවත් පිරිවෙන් අධ්‍යාපනය මෙරට සුවිශේෂ ස්ථානයක් ගන්නා අතර එම සුවිශේෂිත්වය රැක ගනිමින් වර්තමානයට ගැළපෙන පරිදි ශක්තිමත් කළ යුතු බවත් අගමැතිවරයා ප්‍රකාශ කළාය.
වර්තමාන පිරිවෙන් අධ්‍යාපන පනත වර්ෂ 45ක් පැරණි නිසා නූතන අධ්‍යාපන ක්‍රමවලට සහ කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වෙනස් කළ යුතු බවත් නිදසුනක් ලෙස පරිවෙණාචාර්යවරුන්ට රජයේ පාසල් ගුරුවරුන්ට හිමි වැටුප් පරිමාණ සහ ශ්‍රේණි උසස්වීම් ආදී සියලු වරප්‍රසාද ලබා දී ඇති අතර ඔවුන් බඳවා ගැනීම සඳහා සලකා බලන අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කළ යුතු බවත් අගමැතිවරිය පැවසුවාය.








